ජෙහාන් මුබාරක් ටෙස්ට් සංචිතයට

Image copyright AFP

ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයට ජෙහාන් මුබාරක් යළි කැඳවා තිබේ.

සංචාරක පාකිස්තානු පිලට එරෙහිව මේ මස 17 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියට එක්වෙන මුබාරක් ශ්‍රී ලංකා පිළට ක්‍රීඩා කරන්නේ අට වසරකට පසුවයි. වමත් පිතිකරුවෙක් වන ජෙහාන් මුබාරක් තිස් හතර වෙනි වියේ පසුවෙන අතර ඔහු අවසන් වරට ක්‍රීඩා කළේ 2007 බංග්ලාදේශයට එරෙහිව පැවති තරඟයේ දී.

මුබාරක් ටෙස්ට් තරග දහයකදී ලකුණු 254 ක් පමණක් රැස්කර ඇති අතර එහි සාමාන්‍ය 15.87 කි.කෙසේ වෙතත් මහේල ජයවර්ධන ටෙස්ට් ක්‍රිකට් තරඟ වලින් සමු ගැනීමෙන් අනතුරුව මැද පෙළ පිතිකරුවෙක් වෙනුවෙන් ඇති වූ හිඩැස පිරවීමට ජෙහාන් මුබාරක්ට හැකිවෙනු ඇතැයි ඇතැම් ක්‍රිකට් ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දෙති.

මේ අතර පිතිකරු කුසල් පෙරේරා සහ වේග පන්දු යවන දුෂ්මන්ත චමීරත් ටෙස්ට් වරම් ලැබීමට නියමිතව ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට ඇතුළත් කර ඇත. සංචාරක පාකිස්තානු පිලට එරෙහිව මේ මස 17 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරඟාවලියේ මුල්ම තරඟය ආරම්භ වන්නේ ගාල්ලෙන්.

ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය

ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, කිත්රුවන් විතානගේ, ජෙහාන් මුබාරක්, කුසල් පෙරේරා, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, තරිඳු කෞෂාල්, නුවන් ප‍්‍රදීප්, ධම්මික ප‍්‍රසාද්, දුෂ්මන්ත චමීර සහ සුරංග ලක්මාල් යන ක්‍රීඩකයෝ මෙවර සංචිතයට ඇතුලත් වෙති.