සංගක්කාර ටෙස්ට් තරඟ වලින් සමු ගැනීමට සැරසේ

Image copyright AFP

ප්‍රවීණ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා තරඟ වලින් සමු ගැනීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.

පකිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරඟ දෙකකට සහභාගී වීමට නියමිත කුමාර් සංගක්කාරගේ අවසාන ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය විය හැකි බවයි ජනමාධ්‍ය වාර්තා කරන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සංගක්කාර සිය සමු ගැනීම පිළිබඳ අවසාන තීරණය 16 වැනි අඟහරුවාදා ගනු ලැබීමට නියමිත අතර, ඉදිරි ජාත්‍යන්තර ටෙස්ට් තරඟ තුනකට පමණක් සහභාගී වන බව ඔහු ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබෙන බවයි පැවසෙන්නේ.

එංගලන්තයේ සරේ කණ්ඩායම නියෝජනය කරන කුමාර් සංගක්කාර යෝජිත පරිදි ජාත්‍යන්තර තරඟ වලින් විශ්‍රාම ගත හොත් ඔහු යළිත් තම උපන් ගම වන මහනුවර දී අන්තර්ජාතික මට්ටමේ තරඟයකට සහභාගී නොවීමට ඉඩ තිබේ.

ඉන්දියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය ගාල්ලේ පැවැත්වීමට යෝජනා කර තිබුණත් කුමාර් සංගක්කාර ක්‍රීඩාවෙන් සමු ගන්නේ නම් එම තරඟය මහනුවර පල්ලෙකැලේ පැවැත්වීමට ඉඩ ඇති බවත් වාර්තා වේ.

ලෝක කුසලාන තරඟාවලියට පසු ජාත්‍යන්තර තරඟ වලින් විශ්‍රාම ගැනීමට කුමාර් සංගක්කාර තීරණය කර තිබුණත් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ක්‍රීඩා බලධාරීන් ඇතුළු විශාල පිරිසකගේ ඉල්ලීම නිසා තවත් සංචාර දෙකක් සඳහා තරඟ කිරීමට ඔහු එකඟ විය.

විශිෂ්ඨතම පිතිකරුවෙක් ලෙස ලෝක සම්භාවනාවට පත් කුමාර් සංගක්කාර ලොව වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස් කල පිති කරුවෙකි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර