සංගක්කාරගේ හෙට දවස

sangakkara

ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් සමු ගන්නා කුමාර් සංගක්කාර ගේ මැද නම චෝක්ශනාද ය. රූපවාහිනි වැඩ සටහනකට සම්බන්ධ වූ අවස්ථාවකදී කුඩා ඉන්දීය දරුවෙක් ඔහුගේ නම පිළිබඳව විමසූ විට ඔහු කීවේ චෝක්ශනාද යන්න්නෙහි අර්ථය'පැහැදිලි ස්වරය'යන්නයි.

උණුසුම් ක්‍රීඩා තරඟයක් හමාරයේ පිති හරඹයට නොදෙවෙනි වචන හරඹයකින් ක්‍රීඩා ලෝලීන්ට සංග්‍රහ කරන සංගක්කාර පසක් කරන්නේ ඔහු චෝක්ශනාදයෙහි දක්වන සමර්ථ බවයි.

බ්‍රැඩ්මන්,සෝබර්ස්, තෙන්ඩුල්කාර්.අර්ජුන,අරවින්ද සහ සනත් ආදීන් උද්වේගකර පිති හරඹය සහ අභියෝගාත්මක නායකත්වය තුළින් ක්‍රිකට් ක්‍රීඩාවේ තම මුද්‍රාව සලකුණු කළ ලෙසින් සංගක්කාර එක්දින සහ ටෙස්ට් පිටියෙන් සමු ගන්නේ තම මුද්‍රාව ක්‍රිකට් ක්‍රීඩාව මත සලකුණු කරමිනි.

නික්ම ගියත්,තවත් බොහෝ කලකට ක්‍රිකට්‌ මතක් වූ සැනින් සංගක්කාර ද ක්‍රීඩා ලෝලීන් ගේ මතකයට නැගෙනු ඇත.

ක්‍රීඩා කෞෂල්‍යය හේතුවෙන් නැගෙන මතකයට සමගාමීව සංගක්කාර ක්‍රිකට් කතිකාවතට එක් කළ දාර්ශනික දැක්ම තවත් බොහෝ කාලයක් තිස්සේ රැව් දෙනු ඇත.

බාල විය

ඉන්දීය රූපවාහිනී වැඩ සටහනකට සහභාගී වූ අවස්ථාවක දී කුඩා දරුවෙක් ඔහුගෙන් විමසුවේ ඔබ කඩුළු රැකීමට යොමු වුනේ කෙලෙසද යන්නයි.

පිළිතුර සනිටුහන් කළේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ගිය කුඩා සංගක්කාර ගේ තීක්ෂණ නුවණයි.

“ පුහුණුකරු අපෙන් ඇහුවා පිතිකරුවෝ වෙන්න ඕන කාටද? පන්දු යවන්නෝ වෙන්න ඕන කාටද?කියලා. මට කොහොම හරි කණ්ඩායමට එකතු වෙන්න ඕන.ඒ හන්දා මම කිව්වා,මම කඩුළු රකින්නම් කියලා. මම දක්ෂ කඩුළු රකින්නෙක් නොවුනත් වැඩේ හරි ගියා”

තීක්ෂණ නුවණින් ගත් ඒ තීරණයේ ප්‍රතිපලය හේතුවෙන් එක් දින ක්‍රිකට් ක්‍රීඩා තරඟ වලදී වැඩිම දවාලීම් සඳහා වූ ලෝක වාර්තාවට හිමිකම් කීමේ අවස්ථාව සංගක්කාරට ලැබිණි. නවසීලන්තය සමඟ ජනවාරි මාසයේදී පැවති තරඟයේ දී දවාලීම් 474 ක් සම්පූර්ණ කළ සංගක්කාර ඔස්ට්‍ර්ලියානු කඩුලු රකින ක්‍රීඩක ගිල් ක්‍රිස්ට් ගේ වාර්තාව බිඳ හෙලීය.

පියාගේ සෙවනැල්ල

Image copyright bbc

මාධ්‍ය හමුවලදී සංගක්කාකාර ගේ තීරණ ගැනීම පිළිබඳව ප්‍රශ්න කෙරෙන විට ඔහු තම පියා ගැන මතක් කොට සිටී.

නිවස පිටුපස පිති පුහුණුව සඳහා ටෙනිස් පන්දු විසි කිරීමෙන් සෑහීමට පත් වුනත් වෘත්තියෙන් නීතීවේදියෙක් වූ ස්වර්ණ කුමාර සංගක්කාරට තම පුතු ක්‍රිකට් හිනි පෙළේ ඉහළට නගිද්දී නිසොල්මන්ව සිටිය නොහැකි විය.

එහෙයින් ඔහු කුමාර් සංගක්කාරගේ කල්පනා විශ්වය තුළ තීරණාත්මක සාධකයක් බවට පත් විය.

එහි ප්‍රතිඵලයක් ලෙසින් කුමාර් සංගක්කාර ආවර්ජනය තුළින් තීරණ ගන්නා නායකයෙක් බවට පත්විය.වඩාත් සරල බසින් කියතොත් ‘පනින්නට පෙර සිතා බලන’ ගුණය ඔහුගේ චර්යාව හා අවියෝජනීයව බැඳුණු බව පෙනෙන්ට තිබේ.

ඇතැම් විටෙක පියාගේ උපදෙස් පමණට වඩා දුර ගිය අවස්ථා තිබුන බව සංගක්කාර මාධ්‍යට පැවසුවේ සිනා මුසුවය.

දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක නිරත ව සිටියදී පාන්දර දෙකට විතර මට ගෙදරින් ෆැක්ස් එකක් ඇවිල්ලා තියන බව කිව්වා.ගෙදරින් කියපුවාම මම ටිකක් කලබල වුනා. ඒත් හදිස්සියක් නම් කථා කරන්නනේ නැතුව ෆැක්ස් එකක් එවන්නේ මොකද කියලත් මට හිතුනා. පහුවෙනිදා සෙල්ලම් කරන්නත් තිබුනා.කෝකටත් කියලා ෆැක්ස් එක ගෙන්න ගත්තා’’ යැයි සංගක්කාර රූපවාහිනි වැඩ සටහනක දී පැවසීය.

එළිවෙන යාමයේ ලැබුන ඒ ෆැක්ස් පණිවිඩය ඒවා තිබුනේ පියාය.

ෆැක්ස් කොට තිබුනේ ඩොන් බ්‍රැඩ්මන් ගේ පිති හරඹය පිලිබඳ පොතකින් උපුටාගත් පිටුවකි.

ද්විත්ව ශතක

කුමාර් සංගක්කාර මේ වන විට ද්විත්ව ශතක එකොළහක් ලබා ගෙන සිටී. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට පෙර තවත් ද්විත්ව ශතකයක් ලබාගනිමින් මෙතෙක් පහළවූ අසම සම පිතිකරු සේ සැලකෙන ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන් තැබූ ද්විත්ව ශතක දොළහේ වාර්තාව සම කරන්නේ හෝ බිඳ හෙලන්නේ නැත්තේ ඇයි දැයි මාධ්‍යවේදීන් සංගක්කාර ගෙන් නිතර විමසන ප්‍රශ්නයකි.

බීබීසි සංදේශයේ උපාලි ගජනායක ලංඩනයේ ඕවල් පිටියේදී මේ ප්‍රශ්නය විමසසූ විට ඔහු දුන් පිළිතුරෙන් හෙළිදරව් වන්නේද, කුමාර් සංගක්කාර නම් ක්‍රීඩකයා මෙහයවනු ලබන්නේ හුදු ජනප්‍රියත්වය අභිභවා යන සාධක මතින් බවයි.

'පවුලේ සාමාජිකයින් එක්ක සාකච්ඡා කරලයි මේ තීරණය ගත්තේ .වයස තිස් අට ලබනවා ඔක්තෝබර් මාසයේ.හැකියාව පිළිබඳව මෙතැන ප්‍රශ්නයක් නැහැ අවුරුද්දක් දෙකක් ගහන්න පුළුවන්ද කියන එක ගැන ප්‍රශ්නයක් නැහැ...... ඇයි මම මෙතැන ඉන්නේ කියන එක ගැන හිතෙන කාලයක් එනවා' යැයි පැවසූ සංගක්කාර කියා සිටියේ, බ්‍රැඩ්මන් ගේ ද්විත්ව ශතක වාර්තාව බිඳ හෙලීමේ සිහිනයට තමන්ගේ හෘද සාක්ෂියෙන් කෙරෙන ප්‍රශ්න කිරීම යටපත් කරන්නට සුදානම් නැති බවයි.

ප්‍රසාංගික සංගක්කාර

ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රසාංගික මෙහෙයුමක් බව සංගක්කාර හොඳින් දන්නා බව පසක් වන්නේ ඔහු නිතර ප්‍රේක්ෂකයින් වෙත දක්වන අවධානයෙනි.

උද්‍යෝගීමත් ප්‍රේක්ෂක පිරිසක් නැති සජීවී ක්‍රිකට් තරගයක් නැති බව ඔහු විශ්වාශ කරයි.ක්‍රිකට් පිටියේ දසුන් බහුතර ප්‍රේක්ෂක පිරිස වෙත ගෙන යන රූපවාහිනි දෘෂ්‍ය සංස්කාරකවරු ප්‍රිය කරන ප්‍රබල දසුන් මැවීමට සංගක්කාර සමත්ය.

ක්‍රීඩාවේ දේශපාලනය

ක්‍රිකට් ක්‍රීඩාව යනු හුදු බෝලයකට වැරෙන් පහර දීමකට වැඩි 'දේශපාලන කටයුත්තක්' බව සංගක්කාර හොදින් දනී.

ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් ක්‍රිකට් තරඟ වෙත නෙත් දල්වා ගෙන සිටින විට දළ ජාතික නිෂ්පාදිතය පහළ බසින බව තමන් සවිඥානික බව සංගක්කාර කියා සිටියේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

අනෙක් අතට ප්‍රේක්ෂකයින් වෙත වටිනා යමක් ප්‍රදානය කිරීම තම වගකීම බව සංගක්කාර කියා සිටින්නේ 'ක්‍රිකට් ක්‍රීඩාව සහ ශ්‍රී ලාංකික ජාතිය මලට පැහැය සේ බැඳුනු අංගයක්' බව මැනැවින් වටහා ගනිමින්.

තවත් ලෙසකින් කියතොත් ක්‍රිකට් වලින් තොර ශ්‍රී ලංකාව පාළු පිට්ටනියක් බව සංගක්කාර තේරුම් ගනී.

කුමාර් සංගක්කාර 2011 දී ලන්ඩනයේදී පැවැත්වූ කොළින් කව්ඩ්රි දෙසුම හමාර කරමින් ශ්‍රී ලංකාවේ වාර්ගික සංහිඳියාව පිළිබඳව කළ අවධාරණයන් තවත් බොහෝ කාලයක් මාධ්‍ය අවකාශය තුළ සැරිසරනු ඇත.

'මම දෙමළ,සිංහල,මුස්ලිම් සහ බර්ගර්.මම බෞද්ධ,හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගම් අදහනවා'යැයි ඔහු පැවසුවේ තමන් සැම කල්හිම ආඩම්බරයෙන් ශ්‍රී ලාංකිකයෙක් බව පවසමිනි.

සංගක්කාර මේ ප්‍රකාශය කළේ බහු වාර්ගිකත්වය ප්‍රතික්ෂේප කරන ජාතිකවාදී ප්‍රකාශ සමාජ සංවාදය තුළ බහුලව සැරිසරන වකවනුවක් තුළදීය.එහෙත් ශ්‍රී ලංකා සමාජයේ බහු වාර්ගිකත්වය අධාරණය කරමින් සංගක්කාර කළ ප්‍රකාශයට වැඩි විරෝධයක් එල්ල නොවූනේ තමන් කියන දේ තුළින් ප්‍රතිවාදී මතය දිනා ගැනීමේ හැකියාව නිසාද එසේත් නැතිනම් සංගක්කාර ගේ සමාජ ප්‍රතිරූපයට අභියෝග කිරීම ජය ගත නොහැකි අභියෝගයක් සේ කල්පනා කළ නිසාද යන්න නිශ්චිතව කිව නොහැක.මේ දෙකෙන් කුමක් සිදු වුනත් සංගක්කාර තියුණුව දඟ කැවී එන පන්දුවත්,විදුලි වේගයෙන් තමන් කරා එන පන්දුවත් තීක්ෂණ දෑසින් ග්‍රහණය කර ගෙන එය හයේ සීමාවෙන් ඔබ්බට යවන අයුරින්ම, බුහුටි බවින් යුතුව දේශපාලන කරුණු කරණා හා ගනුදෙනුවට ද සමත් බව කොළින් කව්ඩ්රි දේශනයෙන් සනාථ කළේය.

සංගක්කාර ගේ දැන්වීම්

ශ්‍රී ලාංකික දැන්වීම් අතර ට මෑත කාලයේ එක්වූ ක්‍රීඩාතරු අතර සංගක්කාර සහ ඔහුගේ බිරිඳ යෙහෙළි ට හිමි වන්නේ මුල් තැනකි.ක්ෂණික නුඩ්ල්ස්, කිරිපිටි සහ ඇඳුම් දක්වා විහිදෙන පරාසයක ඇඳුම් ප්‍රචාරණයේ ඔවුහු නිරත වෙති.

සමාජ අන්තර් ක්‍රියාවේ යහපාර්ශවය හුවා දක්වමින් ප්‍රේක්ෂක විශ්වාශය දිනාගැනීමේ වැදගත්කම අවධාරණය කරන සංගක්කාර වානිජකරණයේ ගොදුරක් ද වන බව ඔහුගේ විවේචකයන්ගේ අදහසයි.

මේ පිළිබඳව විමසසූ විට ඔහු මාධ්‍යයට කියා සිටියේ,තමන්ට ලැබෙන මේ අවස්ථාවලින් ප්‍රයෝජන නොගන්නේ නම් තමා මෝඩයෙක් වන බවයි. වෙළෙඳ දැන්වීම් වලට පෙනී සිටීමේ දී ලැබෙන මුදල සාකච්ඡාවට ලක් වෙන අන්තිම කරුණ බවයි ඔහු කියා සිටින්නේ.

සංගක්කාරගේ හෙට දවස

Image copyright reauters

සංගක්කාර ගේ බිරිඳ යෙහෙළි පවසන පරිදි දුව ස්වෛරී සහ පුතා කවිත් නිතර රටෙන් බැහැර ව සිටින පියා ගැන කනස්සළු වෙති.

සංගක්කාර පවුල සැහැල්ලුවෙන් නුවර වැව වටේ යන ගමනක් මේ පවුලේ සිහින අතරේ තිබෙන්නට පුළුවන.

සංගක්කර පවසන පරිදි ඔහු නිළ වශයෙන් ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගත්තත් ඔහුට එක රැයකින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සහමුලින්ම සමුගත නොහැක. මේ නිසා ප්‍රාන්ත සහ ක්‍රීඩා සමාජ තරඟ වලදී සංගක්කාර ඉදිරි කාලයෙහි දැකගත හැකිවනු ඇත.

පක්ෂ දේශපාලනයට එක් වන්නේ නැති බව ඔහු ඉඳුරා ම කියා සිටී.

ඒඩ්ස් වලක්වාලන ප්‍රචාරණයේත්,අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සන්නාම තානාපති ලෙසත් කටයුතු කරන සංගක්කාර අවන්හලක්ද පවත්වාගෙන යයි.

ක්‍රීඩාවෙන් සමුගත් පසු කුමක් කරන්නේද යැයි සංගක්කාර ගෙන් විමසු විට ඔහු නිතර කියන්නේ තමන් ඒ ගැන කල්පනා කරන බවයි.

අවුරුදු විසි දෙකේදී ජාතික කණ්ඩායමට එක් වී පුරා දශක එක හමාරකට වැඩි කලයක් ඉනිමෙන් ඉනිම හමාර කළ සංගක්කාර මුල පුරන්නේ තවත් දිගු ඉනිමකටය.මේ ඉනිම තුළ පිති හරඹයෙහි නිපුණ සංගක්කාරට අභිභවා සියුම් කල්පනාව සහ පැහැදිලි ස්වරයේ නිපුණ සංගක්කාර ඉස්මතුවීමට ඉඩ තිබේ.