ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අලුත් තරඟ ව්‍යුහයක් අවශ්‍යයි: මුරලි

දේශීය ක්‍රිකට් ක්‍රීඩාව අන්තර් සමාජ ක්‍රීඩා සමාජ තරගාවලියෙන් ඔබ්බට ගෙන යාමට බලධාරීන් අපොහොසත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් පසුබැස්මට හේතුව බව ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයන් දෙදෙනකු වන කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන් පවසති.

මුරලිදරන්, සංගක්කාර සහ මහේල ජයවර්ධන පවත්වාගෙන යන ගුණ ජය සතුට පදනම විසින් උතුරේ සංවිධානය කරන "මුරලි කුසලාන" තරඟාවලියේ සමාරම්භක උත්සවයේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනුයි ඔවුන් දෙදෙනා ඒ බව කියා සිටියේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට යාමට නම් අන්තර් සමාජ් ක්‍රීඩා තරගාවලිය සහ ක්‍රීඩා සමාජ පමණක් මත නොරැඳී පළාත් මට්ටමේ ස්ථිර තරග ව්‍යුහයක් ඇති කිරීම අත්‍යවශ්‍ය බව මුත්තයියා මුරලිදරන්ගේ අදහසයි.

Image copyright AFP
Image caption 'ක්‍රීඩා සමාජ නැතිකරනවා නෙවෙයි. ඒකත් තියාගෙන මේ ව්‍යුහය හැදිය යුතුයි. දැන් දක්ෂතාව හැංගිලා තියෙන්නේ.'

"අපි අවුරුදු 20ක් ක්‍රිකට් වල හොඳම තත්වේ හිටියා. ඇයි කියල හේතුව කිව්වොත්, 93-96 කාලේ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ නිසා. ඒ කාලේ තමයි සංගක්කාරත් ආවේ මහේලත් ආවේ, ඊට පස්සේ ආපු අය එච්චර උඩට ආවේ නැහැ."

"හේතුව ඇවිල්ලා අපි ක්‍රීඩා සමාජ ක්‍රිකට් ගැනම බලාගෙන හිටපු එක. පළාත් ක්‍රිකට් වලට ගියේ නැහැ. ඒ නිසා තමයි කුමාලා ගියාට පස්සේ අපිට පොඩ්ඩක් අමාරු, අවුරුදු 3ක් 4ක් යයි ඒ තත්වයෙන් ගොඩ එන්න."

මෙයට එකම විසඳුම පළාත් මට්ටමෙන් හොඳ තරඟ ව්‍යුහයක් ගොඩ නගා පළාත් වල සිටින දක්ෂ ක්‍රීඩකයන් ඉදිරියට ගැනීම බවයි මුරලිදරන් පෙන්වා දුන්නේ.

"ක්‍රීඩා සමාජ නැතිකරනවා නෙවෙයි. ඒකත් තියාගෙන මේ ව්‍යුහය හැදිය යුතුයි. මේකෙන් උතුරු නැගෙනහිර වගේම අනිකුත් පළාත්වල හොඳම ක්‍රීඩකයෝ හොයාගන්න පුළුවන්. දැන් දක්ෂතාව හැංගිලා තියෙන්නේ. ඔක්කොම කොළඹට එන්න ඕනේ ක්‍රිකට් ගහන්න."

මින් පෙර පැවැත්වූ පළාත් ක්‍රිකට් තරගාවලි අසාර්ථක වීමට හේතු කවරක්දැයි යන්න බීබීසී සංදේශය එහිදී කුමාර සංගක්කාර වෙත යොමු කළ ප්‍රශ්නයක්.

එම තරඟාවලිවල ස්ථිර ව්‍යුහයක් නොතිබීම එයට හේතුව බව සංගක්කාරගේ මතයයි.

Image copyright AFP
Image caption මහේල ජයවර්ධන සමග එක්ව කලාපීය මට්ටමේ තරගාවලියක් 'ඉදිරියේදී හඳුන්වා දෙනවා'

"වරින් වර තිබ්බේ. මේ අලුත් ක්‍රමේ අපි හදන්න ඕනේ වෙනස් කරන්න බැරි වෙන්න."

එයට පිළිතුරු දෙමින් මුරලිදරන් පෙන්වා දුන්නේ ක්‍රිකට් ආයතනයේ පරිපාලනය වෙනස් වන කාලයට තරඟාවලිද වෙනස් වූ බවයි.

"එහෙම වෙනස් වෙන්න බැහැ. ගහන්ඩ ඕන හින්ද ගහනවා. අපි ගැහුවේ කොහොමද දන්නවද ක්‍රීඩා සමාජවල ඉන්න ක්‍රීඩකයෝ එහෙ මෙහෙ දාල. මාව ගිහින් දැම්ම යාපනයට. මම කැමති වුනේ නුවරට ගහන්න."

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සමග එක්ව කලාපීය මට්ටමේ තරගාවලියක් ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති කුෂිල් ගුණසේකර මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේය.