බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයාගේ බිරිඳ අත්අඩංගුවේ

Image copyright AFP
Image caption දැරිය සොයා ගැනීමට පෙර පොලිසිය වෙත පැමිණි හොසේන් යුවල සිය මෙහෙකාරිය අතුරුදහන් වී ඇති බවට පැමිණිලි කොට තිබේ

මෙහෙකාර දැරියකට පහර දුන් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශදාත් හොසේන්ගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සිය නිවසේ මෙහෙකාර සේවයේ යෙදුණු දැරියට පහරදී අපයෝජනය කළ බවට ක්‍රිකට් ක්‍රීඩකයා සහ ඔහුගේ බිරිඳට චෝදනා එල්ල විය.

තුවාල ලබා සිටි දැරිය මහ මඟ සිටියදී හමු වීමත් සමග ක්‍රිකට් ක්‍රීඩකයා සහ ඔහුගේ බිරිඳ මසක පමණ කාලයක් පොලිසිය මඟ හරිමින් සිටියහ.

මෙහෙකාර දැරිය ක්‍රිකට් ක්‍රීඩකයාගේ නිවසේ වසර ගණනාවක් සේවයේ යෙදී තිබේ.

ක්‍රිකට් ක්‍රීඩක ශදාත් හොසේන් මේ දක්වා පොලිසිය මඟ හරිමින් සිටින නමුත් ඔහු නීතියේ රැහැනට හසු කර ගන්නා බව බංග්ලාදේශ බලධාරීහු අවධාරණය කරති.

ශදාත් හොසේන්ගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඩකා අගනුවර පිහිටි ඇයගේ දෙමව්පියන්ගේ නිවසේ සිටියදීයි.