සෝබර්ස් කුසලානය වෙනුවෙන් සෝබර්ස් ලංකාවේ

Image caption 'මම දන්නා විදියට මේ පලවෙනි පාරට තමයි සර් ගාෆීල්ඩ් සෝබර්ස් ගේ නමින් ඔහොම තරගාවලියකට ඉදිරිපත් වෙලා තියෙන්නේ'

සෝබර්ස් - තිසේරා කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයට සහභාගිවීම පිණිස ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අඟහරුවාදා ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

ඔහු පිළිගැනීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීන් සැදී පැහැදී බලා සිටින බවයි, මණ්ඩලයේ අතුරු කමිටුවේ උප සභාපති කුෂිල් ගුණසේකර බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

"මම දන්නා විදියට මේ පලවෙනි පාරට තමයි ඇත්තටම සර් ගාෆීල්ඩ් සෝබර්ස් ගේ නමින් ඔහොම තරගාවලියකට ඉදිරිපත් වෙලා තියෙන්නේ," ඔහු පැවසීය.

"ඉතින් අපිට ඒක ලොකු භාග්‍යයක්."

1966 සහ 67 වර්ෂයේදී සෝබර්ස් ගේ නායකත්වයෙන් බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූයේ මයිකල් තිසේරා විසින් බව කුෂිල් ගුණසේකර වැඩිදුරටත් පැවසීය.

ගාෆීල්ඩ් සෝබර්ස් සහ මයිකල් තිසේරා අඟහරුවාදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී මාධ්‍ය හමුවකට සහභාගිවීමටත් නියමිතයි.