ජගත් කුසලානයට 'පුහුණුවෙන්න ක්‍රීඩාංගනයක් නෑ'

Image caption 'ග්‍රවුන්ඩ්ස්වලට සාමාන්‍යයෙන් දවසකට රුපියල් 50,000 ක් විතර ඉල්ලනවා'

ලබන ජනවාරි මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන ලෝක ශූරතාවලියට සහභාගි වන මෙන් ආරාධනාවක් ලැබී ඇතත්, සිය ක්‍රීඩකයන්ට පුහුණුවීමට පවා නිසි ක්‍රීඩාංගනයක් නොමැති බව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට් සම්මේලනය පවසයි.

සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් ලබාදෙන අනුග්‍රහය පිළිබඳව පවා තවමත් ස්ථිර වචනයක් ලැබී නැති බවත් සම්මේලනයේ ජාත්‍යන්තර සහ දේශීය සම්බන්ධීකාරිකා ටානියා ශුකූ බීබීසී සංදේශයට කියා සිටියාය.

"ග්‍රවුන්ඩ්ස්වලට සාමාන්‍යයෙන් දවසකට රුපියල් 50,000 ක් විතර ඉල්ලනවා," ඇය සඳහන් කළාය.

ක්‍රීඩාංගන පහසුකම් ලබාදෙන මෙන් කණ්ඩායම දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීම් කරමින් සිටින නමුත් මෙතෙක් එයට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව කණ්ඩායමේ හිටපු නායක චන්දන සූරියආරච්චි සංදේශයට පැවසීය.

'නිල ඇඳුමක්වත් නෑ'

"ක්‍රීඩා අමාත්‍යාංශය ලිපියක් යවල තියෙනව මේගොල්ලන්ට ක්‍රීඩාංගන පහසුකම් ලබාදෙන්න කියලා. නමුත් තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අපිත් එක්ක සාකච්ඡාවක්වත් කරලා නැහැ."

Image caption 'තවමත් අපිට ක්‍රීඩා අමාත්‍යංශයේ ගුවන් ටිකට්පත් හැර වෙනත් කිසිදු ආයතනයකින් යහපත් ප්‍රතිචාරයක් ලැබිල නැහැ මූල්‍යමය පැත්තෙන්'

ලබන ජනවාරි 16 වැනි දින සිට 25 වැනි දින දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත දෘශ්‍යාබාධිත ක්‍රීඩකයන්ගේ ප්‍රථම විස්සයි විස්ස ලෝක ශූරතාවලියට සහභාගිවීම පිණිස රුපියල් ලක්ෂ දහතුනකට ආසන්න මුදලක් වැයවනු ඇති බව සඳහන් කළ චන්දන සූරියආරච්චි, ඒ සඳහා ගුවන් ටිකට්පත් ලබාදෙන බවට ක්‍රීඩා අමාත්‍යාංශය පොරොන්දු වී ඇති බවත් පැවසීය.

ක්‍රීඩක නිල ඇඳුම සකසා ගැනීම සහ පුහුණුවීම ඇතුළු අනෙක් කටයුතු වෙනුවෙන් ආධාර කරන මෙන්ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට් සම්මේලනය අනුග්‍රාහකයන් ගෙන් ඉල්ලීමක් කරයි.

"තවමත් අපිට ක්‍රීඩා අමාත්‍යංශයේ ගුවන් ටිකට්පත් හැර වෙනත් කිසිදු ආයතනයකින් යහපත් ප්‍රතිචාරයක් ලැබිල නැහැ මූල්‍යමය පැත්තෙන්," කණ්ඩායමේ හිටපු නායකයා වැඩිදුරටත් පැවසීය.

දැන් මූල්‍ය වර්ෂය අවසානවෙමින් පවතින බැවින් අනුග්‍රහය ලබාදීම දුෂ්කර බව ආයතන කිහිපයක් දැනටමත් තමන්ට දැනුම් දී ඇති බවත් ඔහු සඳහන් කළේය.

දෘශ්‍යාබාධිත ක්‍රීඩකයන්ගේ මංගල විස්සයි විස්ස ජගත් ශූරතාවලිය දකුණු ඉන්දීය කේරල ප්‍රාන්තයේ කෝචි නගරයේදී පැවැත්වීමට නියමිතයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර