දූෂිතයන්ට ක්‍රිකට් තනතුරු දරන්න බෑ - දයාසිරි

Image caption ක්‍රීඩාවට දේශපාලන අතපෙවීමක් නොකරන නමුත් දූෂිතයන්ට එරෙහිව ක්‍රියාකරන බව අමාත්‍යවරයා පවසයි

ලබන ජනවාරි මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයෙන් තේරී පත්වන ඕනෑම අපේක්ෂකයකු දූෂිතයකු බව සනාථවුවහොත් ඔවුන් එම පදවිවලින් ඉවත්කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

හිටපු ලේකම් නිශාන්ත රණතුංග සහ හිටපු සභාපතිවරුන් වන අර්ජුන රණතුංග, ජයන්ත ධර්මදාස සහ තිලංග සුමතිපාල මෙවර නිලවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධානම අපේක්ෂකයන්.

හිටපු සභාපති උපාලි ධර්මදාස රණතුංග දෙසොහොයුරන්ට සහාය දක්වන බව වාර්තාවන අතර, උපාලි-නිශාන්ත පාලක මණ්ඩලයට බරපතල දූෂණ චෝදනා එල්ල කළ අර්ජුන රණතුංග අමාත්‍යවරයා මෙවර එම කණ්ඩායමේම සාමාජිකයකු වීම නිලවරණයේ කැපී පෙනෙන්නක්.

Image caption උපාලි-නිශාන්ත පාලක මණ්ඩලයට බරපතල දූෂණ චෝදනා එල්ල කළ අර්ජුන රණතුංග අමාත්‍යවරයා මෙවර එම කණ්ඩායමේම සාමාජිකයකු වීම නිලවරණයේ කැපී පෙනෙන්නක්

නිලවරණයේ අපේක්ෂකයන්ට එරෙහිව පැමිණිලි ගණනාවක්ම ලැබී තිබෙන බවයි ක්‍රීඩා අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබුනේ. එම පැමිණිලි ඔහු දෙසැම්බර් 10 වැනි දින සලකා බැලීමට නියමිතයි.

එම විමර්ශනයේදී තාක්ෂණික හේතූන් මත ඇතැම් අපේක්ෂකයන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට ඉඩ තිබෙන බව පවසන ක්‍රීඩා අමාත්‍යවරයා, කිසියම් ලෙසකින් එසේ නාමයෝජනා ප්‍රතික්ෂේප නොවන පුද්ගලයන්ට එරෙහි චෝදනා අධිකරණ ක්‍රියාමාර්ගයකින් සනාථවුවහොත් ඔවුන් එම පදවිවලින් ඉවත් කරන බව අවධාරණය කළේය. ( අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවට සවන් දෙන්න)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංගට සහ හිටපු සභාපතිවරුන් වන උපාලි ධර්මදාස සහ ජයන්ත ධර්මදාස දෙසොහොයුරන්ට එරෙහිව බැඳියාවන් අතර ගැටුම් සම්බන්ධ බරපතල චෝදනා එල්ල වී තිබෙන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක විසින් පත්කරන ලද පරීක්ෂණ මණ්ඩලයේ නිගමණය වී තිබේ.

Image copyright Thilanga Sumathipala
Image caption නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල සභාපති පදවිය දැරූ පාලක මණ්ඩලය එවක අමාත්‍ය ජීවන් කුමාරතුංග විසින් විසුරුවා හරියේ දූෂණ චෝදනා එල්ල කරමින්

විශේෂයෙන්ම නිශාන්ත රණතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයාව සිටියදී ඔහු ප්‍රධාන විධායක තනතුර හෙබැවූ සීඑස්එන් ආයතනයට ක්‍රිකට් විකාශන අයිතිය පැවරීමේදී බැඳියාවන් අතර ගැටුමක් පැවති බව කමිටුවේ මතයයි.

සීඑස්එන් ආයතනයට විකාශන අයිතිය පැවරීම පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේද දැඩි විවේචනයට ලක්විය.

අයිසීසී ප්‍රතිචාරය

එහෙත් ඔවුන් එම චෝදනාවට වැරදිකරුවන් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක විසින් පත්කරන ලද පරීක්ෂණ කමිටුව නිගමණය කර නැති බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

"ඒක තමයි නිගමනවල තිබුණ නම් මෙන්න මේ අය මේ දේට වැරදිකරුවෝ කියල අපිට ඉතිරි වැඩ ටික කරන්න තිබුණ."

Image copyright SriLankaMirror
Image caption ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයාව සිටියදී ඔහු ප්‍රධාන විධායක තනතුර හෙබැවූ සීඑස්එන් ආයතනයට ක්‍රිකට් විකාශන අයිතිය පැවරීමේදී බැඳියාවන් අතර ගැටුමක් බවට චෝදනා

එම පරීක්ෂණ මණ්ඩලය නගා තිබෙන චෝදනා පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයට උපදෙස් දී තිබෙන බව පවසන අමාත්‍ය දයාසිරි ජයසේකර, වැඩිදුර පියවර ගැනීමට ප්‍රථම නීතිපතිවරයාගේ උපදෙස් ලබාගන්නා බවත් සඳහන් කළේය.

දූෂණ විරෝධී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පෙන්වා දෙන පරිදි බැඳියාවන් අතර ගැටුම යනු දූෂණයක් බව පිළිගන්නේ දැයි සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් ඇමතිවරයා කියා සිටියේ විවිධ ආකාරයෙන් එය අර්ථකතනය කළ හැකි බවයි.

මේ අතර නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල සභාපති පදවිය දැරූ පාලක මණ්ඩලය එවකට ක්‍රීඩා අමාත්‍ය ජීවන් කුමාරතුංග විසින් විසුරුවා හරිනු ලැබුනේ බරපතල දූෂණ චෝදනා එල්ල කරමින්.

එම චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූයේද යන්න හෝ එවැනි පරීක්ෂණයක නිගමන කවරක්ද යන්න පිළිබඳව තමන් දැනුවත් නැති බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර සංදේශයට පැවසීය.

නිලවරණයේ අපේක්ෂකයන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව ප්‍රතිචාරය විමසූ අවස්ථාවේ අයිසීසී ජගත් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙක් බීබීසී සංදේශයට කියා සිටියේ මේ අවස්ථාවේ තමන් ඒ පිළිබඳව කිසිචක් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටින බවයි.