ජගත් කුසලානය: 'ශ්‍රී ලංකාවට පහසු ඉලක්කයක්'

Image copyright AP
Image caption ලෝක ශූර ශ්‍රී ලංකාවට විස්සයි විස්ස ජගත් කුසලානයේදී පහසු ඉලක්කයක්?

ලබන වසරේ මාර්තු මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ජගත් කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු ඉලක්කයක් ලැබී තිබෙන බව ක්‍රීඩා විචාරකයෝ පවසති.

ශූරතාවලියේ කාලසටහන අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය සිකුරාදා ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව මාර්තු අට වැනි දින ඉන්දියාවේදී ආරම්භ වන විස්ස විස්ස ලෝක ශූරතාවලියේදී ලෝක ශූර ශ්‍රී ලංකාව පළමු වරට තරඟයට අවතීර්ණ වන්නේ දෙවැනි වටයේදී.

ඒ පළමු වටයෙන් සුදුසුකම් ලබන කණ්ඩායමක් සමඟ මාර්තු 17 වැනි දින කොල්කටා නුවර ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩාංගනයේදී.

Image copyright AFP
Image caption ශ්‍රී ලංකාව තරඟාවලියට අවතීර්ණ වන්නේ මාර්තු 17 වැනි දින ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩාංගනයේදී

නාග්පූර් හිදී මාර්තු අට වැනි දින සමාරම්භක තරඟය පැවැත්වෙන්නේ සිම්බාබ්වේ සහ හොංකොං කණ්ඩායම් අතර බවත් කාලසටහනේ සඳහන්.

ශ්‍රී ලංකාවට පළමු තරඟයේදී සිම්බාබ්වේ හෝ ස්කොට්ලන්තය හමුවනු ඇති බවයි, විචාරකයන් පෙන්වා දෙන්නේ.

මේ අතර ඉන්දියාව සහ පාකිස්තානය මාර්තු 19 වැනි දින ධර්මශාලා හිදී තරඟාවලිය තුල පළමු වරට මුණගැසීමට නියමිතයි.

මාසයකට ආසන්න කාලයක් මුළුල්ලේ ක්‍රීඩාංගන අටක පැවැත්වෙන ජගත් කුසලානයේදී පුරුෂ සහ කාන්තා අංශ දෙකෙන්ම තරඟ 58 ක් පැවැත්වීමට නියමිත බවත් නිවේදනයේ සඳහන්.

Image copyright Getty Images
Image caption පිට පිටම සිවුවැනි වරටත් ජගත් කුසලානය දිනාගැනීම ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ බලාපොරොත්තුවයි

අවසාන මහා තරඟය පැවැත්වෙන්නේ ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩාංගනයේදී.

මාර්තු අට වැනි දින සිට අප්‍රේල් තුන් වැනි දින දක්වා පැවැත්වෙන ජගත් කුසලානයේ කාන්තා අංශයේ මූලික වටයේදී ශ්‍රී ලංකාව තරඟ වදින්නේ ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ අයර්ලන්තය සමඟින්.

පිට පිටම සිවුවැනි වරටත් ජගත් කුසලානය දිනාගැනීම ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ බලාපොරොත්තුවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර