ක්‍රිකට් තරඟ පාවාදීමේ උත්සාහයක්: සිදත්

Image copyright AFP
Image caption තරඟ පාවාදීමේ උත්සාහය ක්‍රීඩකයන් දෙදෙනා වහාම බලධාරීන්ට දැනුම් දුන් බව ක්‍රිකට් ආයතනය පවසයි

බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ තරඟ පාවාදීමේ උත්සාහයක් දියත්ව තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අන්තර්වාර කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි සනාථ කළේය.

තරඟ පාවා දෙන මෙන් කිසියම් පුද්ගලයකු කුසල් ජනිත් පෙරේරාට සහ රංගන හේරත්ට යෝජනා කර ඇති අතර, ඔවුන් එම උත්සාහය පිළිබඳව වහාම අදාළ බලධාරීන්ට දැනුම් දුන් බවත් සිදත් වෙත්තමුණි බීබීසී සංදේශයට පැවසීය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී ඒකකය විසින් ඒ පිළිබඳව ජගත් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී ඒකකයට දැනුම් දී තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ගාල්ලේ පැවැත්වුණු ටෙස්ට් තරඟය හිතාමතාම පරාජය කරන මෙන් එම පුද්ගලයා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට යෝජනා කර ඇති බවයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඒඑෆ්පී පුවත් සේවයට පවසා තිබුණේ.

කෙසේ නමුත් එම පුද්ගලයා විශේෂයෙන් තරඟයක් සඳහන් කර නැති බව සංදේශයට කියා සිටි සිදත් වෙත්තමුණි: "නෑ නෑ එහෙම තරඟයක් ගැන මොනවත් කතාකරලා නෑ. නිකම් තරඟ පාවාදීම ගැන සාමාන්‍යයෙන් අහල තියෙන්නේ."

මේ අතර තහනම් උත්තේජක භාවිත කිරීම පිළිබඳව කුසල් ජනිත් පෙරේරාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාව, විස්සයි විස්ස ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට එරෙහි කුමන්ත්‍රණයක් දැයි සැක සිතෙන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගිය බදාදා පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළේය.