පාසල් ක්‍රීඩා: දරුවන් හය දෙනෙක් මියගිහින්

Image caption 'අපි මෙඩිකල් එක දෙන්නේ අවුරුදු 12 ට වැඩි 1500 දුවන දරුවන්ට. මීටර් 400 ට වැඩිය පිහිනන අයට. ඒ වගේ අපි හඳුනාගත්ත කය වෙහෙස කරන ක්‍රීඩාවලට විතරයි'

ගතවගිය වසර කිහිපය ඇතුලත පාසල් ක්‍රීඩා උළෙලවලදී දරුවන් හය දෙනකු හෘදයාබාධවලින් මියගොස් ඇති බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.

2013 වසරේදී පාසල් දරුවන් සිවු දෙනකු පාසල් ක්‍රීඩා උළෙලවලදී මියගිය බව බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළ සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සම්බන්ධ ජාත්‍යන්තර සම්බන්ධීකාරක වෛද්‍ය හිමාන් ද සිල්වා, 2014 දී එවැන්නක් වාර්තා නොවූ නමුත් තවත් දරුවන් දෙදනකු පසුගිය වසරේ පාසල් ක්‍රීඩාවලට සම්බන්ධ වී සිටියදී මියගිය බව පැවසීය.

"ඒ මියගියපු දෙන්නගෙන් එක්කෙනෙක් මෙඩිකල් එකක් කරගෙනත් තිබුණ."

මේ තත්වය යටතේ කය වෙහෙස කරන ක්‍රීඩා ඉසවු කිහිපයක් වෙනුවෙන් පාසල් ක්‍රීඩා උළෙලවලට සහභාගි වන දරුවන් මින් අනතුරුව අනිවාර්යයෙන්ම වෛද්‍ය පරීක්ෂණයකට භාජනය විය යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරයි.

Image copyright Reuters
Image caption ක්‍රිකට්, බැඩ්මින්ටන් හෝ ටේබල් ටෙනිස් ක්‍රීඩාකරන දරුවන්ට වෛද්‍ය සහතික අනවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සියලු පාසල් වෙත නිකුත් කරන ලද චක්‍රලේඛයකයි එම නියෝගය ඇතුලත් වෙන්නේ.

ශ්‍රී ලංකාවේ වසරකට පාසල් දරුවන් ලක්ෂ නමයක් ක්‍රීඩා කරන බව පවසන වෛද්‍ය හිමාන් ද සිල්වා, ඔවුන්ගේ අවශ්‍යතා සැපයීම පිණිස ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සම්බන්ධ පශ්චාත් උපාධිලාභී වෛද්‍යවරු සිටින්නේ තිස් තුන් දෙනකු පමණක් බව සඳහන් කළේය. දැනට සේවයේ යෙදී සිටින්නේ එයින් විසි දෙදෙනකු පමණයි.

එසේ ක්‍රීඩාවලට සම්බන්ධ වන දරුවන්ගෙන් ලක්ෂ පහකට වෛද්‍ය පරීක්ෂණ අවශ්‍ය බවත් ඔහු පැවසීය.

"මේ ලක්ෂ පහක් අවුරුද්දකට බලන්න බෑනේ වෛද්‍යවරු විසි දෙකකට?," වෛද්‍ය හිමාන් ප්‍රශ්න කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

Image copyright Getty
Image caption නව චක්‍රලේඛය අනුව වයස අවුරුදු 12 න් ඉහල දරුවන් කය වෙහෙසා කරන ක්‍රීඩා සඳහා අනිවාර්යයෙන් වෛද්‍ය සහතික ලබාගත යුතුයි

මේ ගැටලුවලට විසඳුමක් වශයෙන් ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින වෛද්‍යවරුන් දහසකට පුහුණුව ලබාදී, එම වෛද්‍යවරුන්ගේ ලැයිස්තුව අධ්‍යාපන අමාත්‍යංශයට ලබාදීමෙන් අනතුරුව නව නිර්දේශය නිකුත් කළ බවත් ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් පුහුණුකිරීම භාරව සිටින වෛද්‍ය හිමාන් ද සිල්වා සඳහන් කළේය.

වෛද්‍ය සහතික ලබාගත් පමණින් ක්‍රීඩා තරඟයකදී දරුවන් මිය නොයන බවට සහතිකයක් දිය නොහැකි නමුත් එය ඉතා අවම මට්ටමකට ගෙන් ඒම නව වැඩපිළිවෙලේ අරමුණ බව ඔහු සඳහන් කළේ වෛද්‍ය සහතික ලබාගත් දරුවකුත් මියොගොස් ඇති බවට ඔහු කළ සඳහන් පිළිබඳව විමසූ අවස්ථාවේ.

"අපි මෙඩිකල් එක දෙන්නේ අවුරුදු 12 ට වැඩි 1500 දුවන දරුවන්ට. මීටර් 400 ට වැඩිය පිහිනන අයට. ඒ වගේ අපි හඳුනාගත්ත කය වෙහෙස කරන ක්‍රීඩාවලට විතරයි."

උදාහරණයක් ලෙසින් බැඩ්මින්ටන්, ක්‍රිකට් හෝ ටේබල් ටෙනිස් ක්‍රීඩාකරන දරුවන්ට වෛද්‍ය සහතික අනවශ්‍ය නමුත් දෙමාපියන් විශේෂ ඉල්ලීමක් කරන්නේ නම් එම දරුවන්ටද වෛද්‍ය සහතික ලබාදීමට සූදානම් බවත් වෛද්‍ය හිමාන් ද සිල්වා වැඩිදුරටත් පැවසීය.