තිසර පෙරේරා ටෙස්ට් පිටියෙන් සමුගනියි

Image copyright Reuters

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියවුවෙන් දස්කම් පාන ක්‍රීඩක තිසර පෙරේරා බීබීසී සංදේශයට පැවසීය.

සිය තීරණය දැනුම්දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කළ බව සඳහන් කළ තිසර පෙරේරා, ක්‍රිකට් ආයතනය එම තීරණය පිළිගත්තේ දැයි තවමත් නොදන්නා බවත් පැවසීය.

ටෙස්ට් පිටියෙන් සමුගන්නා නමුත්, ශ්‍රී ලංකාව වෙනුවෙන් දිගටම එක්දින සහ විස්සයි විස්ස පිටියේ තරඟ වදින බවත් ඔහු පැවසීය.

ක්‍රිකට් පිටිය පිළිබඳව කලකිරී ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටිමින් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කර තිබෙන නමුත්, ක්‍රීඩා බලධාරීන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවද සංදේශයට වාර්තාවේ.

ඒ පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් සිල්වා සඳහන් කළේ එවැනි උත්සාහයක් පිළිබඳව තමන්ට තවමත් වාර්තා වී නොමැති බවයි.

කිසියම් කලකිරීමක් හේතුවෙන් තිසර පෙරේරා විශ්‍රාම ගැනීමට සැරසෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට සූදානම් බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සංදේශයට පැවසීය.

ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳව කලකිරීමෙන් මීට වසර කිහිපයකට ඉහතදීද ඔහු විදේශගතවීමට සූදානම් වූ බවට වාර්තා පළ විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර