ටෙස්ට් දිවියට සමු දෙන බ්‍රෙන්ඩන් මැකලම් වාර්තා පොත අලුත් කරයි

Image copyright Getty
Image caption ටෙස්ට් තරඟ 101 කට සහභාගී වී ඇති බ්‍රෙන්ඩන් මැකලම් ලබා ගෙන ඇති මුළු ටෙස්ට් ශතක සංඛ්‍යාව 12කි

ක්‍රිකට් වාර්තා පොත අලුත් කරමින් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක බ්‍රෙන්ඩන් මැකලම් ලොව වේගවත්ම ටෙස්ට් ශතකය වාර්තා කරයි.

පන්දු 54 කට මුහුණ දෙමින් බ්‍රෙන්ඩන් මැකලම් සිය ශතකය වාර්තා කළේය.

ඊට හතරේ පහරවල් 16 ක් සහ හයේ පහර 04 ක් අයත්.

සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම හා පැවති දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනයේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් පිටියට බට බ්‍රෙන්ඩන් පන්දු 79 කට මුහුණ දෙමින් ලකුණු 145 ක් රැස් කළේය.

බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු විවියන් රිචඩ්ස් සහ පාකිස්තාන පිතිකරු මිස්බා උල් හක් විසින් තබා තිබූ වාර්තා බිඳ දමමින් දක්ෂ පිති හරඹයක යෙදුණු බ්‍රෙන්ඩන් මැකලම් සිය ක්‍රිකට් දිවියේ සහභාගී වන අවසන් ටෙස්ට් තරගය මෙයයි.

ටෙස්ට් තරඟ 101 කට සහභාගී වී ඇති බ්‍රෙන්ඩන් මැකලම් ලබා ගෙන ඇති මුළු ටෙස්ට් ශතක සංඛ්‍යාව 12කි.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රීඩකයෝ සියලු දෙනා දැවී ලකුණු 370 ක් රැස් කළහ.