ජ්‍යෙෂ්ඨයන් දක්ෂතා අතරට පැමිණිය යුතුයි - මාලිංග

Image copyright Getty
Image caption "නවකයන් රැසක් ඉන්නවා. නමුත් මම හිතනවා අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දක්ෂතා අතරට පැමිණිය යුතුයි ජයග්‍රහණය සඳහා යන්න"

ශ්‍රී ලංකාව විස්සයි විස්ස ආසියානු කුසලානය හා ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට නම් අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දක්ෂතා අතරට පැමිණිය යුතු බව ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසයි.

ක්‍රීඩක ලසිත් මාලිංග එම අදහස් පළ කළේ ලබන 24 වැනිදා බංගලාදේශයේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ආසියානු කුසලානය සඳහා පිටත් වීමට පෙර මාධ්‍යයට අදහස් දක්වමින්.

"නවකයන් රැසක් ඉන්නවා. නමුත් මම හිතනවා අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දක්ෂතා අතරට පැමිණිය යුතුයි ජයග්‍රහණය සඳහා යන්න"

අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දක්ෂතා අතරට පැමිණෙන විට කණ්ඩායමට එක්ව සිටින නවක ක්‍රීඩකයන් ඉබේම දක්ෂතා අතරට පැමිණෙනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවර තරඟාවලියට ඉදිරිපත් වන්නේ අවසන් වරට පැවති ආසියානු කුසලානයේ හා විස්සයි විස්ස ලෝක කුසලානයේ ශූරයන් ලෙසයි.

'නව ආරම්භයක්'

තමන්ට ලබා දී ඇති කණ්ඩායම සම්බන්ධයෙන් සෑහීමකට පත් වන බව ප්‍රකාශ කළ කණ්ඩායම් නායක ලසිත් මාලිංග කණ්ඩායම නියෝජනය කරන එක් ක්‍රීඩකයෙක් පිළිබඳ පමණක් නොව පහළොස් දෙනා පිලිබඳම බලාපොරොත්තු තබා ගත හැකි බවයි සඳහන් කළේ.

පසුගිය කාලයේ කණ්ඩායම මුහුණ දුන් පසුබෑම අමතක කොට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නව ආරම්භයක් සමගින් ඉහත කී තරඟාවලි දෙකට මුහුණ දෙන බවයි ලසිත් මාලිංග පවසන්නේ.

බංගලාදේශයේ තණ තීරුවල වත්මන් ස්වභාවය අධ්‍යනය කිරීමෙන් අනතුරුව ක්‍රීඩා කරන කණ්ඩායම ගැන තීරණයක් ගන්නා බවයි ලසිත් මාලිංග කියා සිටියේ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංගලාදේශය හා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ජයග්‍රහණය කරන කණ්ඩායම සහභාගී වන ආසියානු කුසලානය පෙබරවාරි මස 24 වැනිදා බංගලාදේශයේදී අරම්භ වීමට නියමිතයි

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර