මහේල තිලංගගේ චෝදනා බැහැර කරයි

Image copyright AFP
Image caption 'එංගලන්ත කණ්ඩායම මගෙන් බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සතු උපාය මාර්ග පිළිබඳ තොරතුරු ලබා ගැනීම නොවෙයි. ඒ සඳහා ඔවුන්ට ක්‍රීඩා විශ්ලේෂකයන් සහ පුහුණුකරුවන් සිටිනවා'

එංගලන්ත විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල තමා වෙත එල්ල කළ විවේචන ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන පවසයි.

මෑතක් වන තුරු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වෙනත් කණ්ඩායමක උපදේශකයකු ලෙස කටයුතු කිරීම අනුමත කළ නොහැක්කක් බවයි සිකුරාදා (26) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා කියා සිටියේ.

සභාපතිවරයා පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් මහේල ජයවර්ධන අවධාරණයයෙන් කියා සිටින්නේ 'එංගලන්ත විස්සයි විස්ස කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායම සතු විශේෂිත උපාය මාර්ග පිළිබඳ තොරතුරු ලබා දීම සිය කාර්යය නොවන' බවයි.

දින දහයක පුහුණු කාලය අතරතුර එංගලන්ත ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරෙන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයා සඳහන් කළේ.

'එංගලන්ත කණ්ඩායම මගෙන් බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සතු උපාය මාර්ග පිළිබඳ තොරතුරු ලබා ගැනීම නොවෙයි. ඒ සඳහා ඔවුන්ට ක්‍රීඩා විශ්ලේෂකයන් සහ පුහුණුකරුවන් සිටිනවා. ක්‍රිකට් ආයතනය පළ කළ අදහස් ගැන මට තරමක් කනගාටුයි' මහේල ජයවර්ධන පවසයි.

'දිනදහයක් පමණයි'

Image copyright Getty
Image caption 'මෙය මහේලගේ වරදක් නොවෙයි, ක්‍රිකට් පරිපාලනයේ ගැට‍ළුවක්, අපි මින් පස්සේ ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තුවලට ඇතුලත් කරනවා විශ්‍රාම ගිහිල්ලා වසරක් වත් යන තුරු වෙන කණ්ඩායම් වල පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීමට අපි පියවර ගන්නවා'

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ මුලික වටයේදී ශ්‍රී ලංකාවට එරෙහිව තරඟ කිරීමට නියමිත එංගලන්ත කණ්ඩායමට, මෑතක් වන තුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ක්‍රීඩකයෙකු සහාය දැක්වීම සුදුසු නොවන බවයි ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සිකුරාදා කියා සිටියේ.

'මෙය මහේලගේ වරදක් නොවෙයි, ක්‍රිකට් පරිපාලනයේ ගැට‍ළුවක්, අපි මින් පස්සේ ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තුවලට ඇතුලත් කරනවා විශ්‍රාම ගිහිල්ලා වසරක් වත් යන තුරු වෙන කණ්ඩායම් වල පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීමට අපි පියවර ගන්නවා'තිලංග සුමතිපාල පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් මහේල ජයවර්ධන සිය අවසන් එක් දින තරඟයට සහභාගී වූයේ 2015 වසරේ මාර්තු මාසයේදී.විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟවලින් ඔහු විශ්‍රාම ගනු ලැබුවේ 2014 වසරේ අප්‍රේල් මාසයේදී.

'විස්සයි විස්ස ලෝක කුසලානය වන විට මම එක් දින කණ්ඩායමෙන් ඉවත් වෙලා මාස දොළහක් පමණ ගත වෙලා, විස්සයි විස්ස කණ්ඩායමෙන් ඉවත් වෙලා වසර දෙකක් විතර වෙනවා' ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර