ශ්‍රී ලංකාව හා පකිස්ථානය ආසියානු කුසලානයෙන් ඉවතට

Image copyright SLC

බංග්ලාදේශයේ මිර්පුර් ක්‍රීඩාංගණයේ අද බදාදා පැවති බංගලාදේශ් හා පකිස්තාන් තරඟයේ දී පකිස්තානය පරාජය වීමත් සමඟ ආසියානු කුසලාන තරඟාවලියේ අවසාන මහා තරඟයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි විය.

පාකිස්තානය සහ බංග්ලාදේශය අතර තරඟයෙන් පකිස්තානයට ජයග්‍රහණය හිමි වී, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟයේදී ශ්‍රී ලංකාව වැඩි ලකුණු සංඛ්‍යාවකින් ජයග්‍රහණය කළහොත් පමණක් ශ්‍රී ලංකාවට අවසන් මහා තරඟයට පිවිසීමේ අවස්ථාව හිමිවිය හැකිව තිබුණි.

කෙසේවෙතත් අද බංග්ලාදේශය පකිස්තානය පරාජය කිරීමත් සමග අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමට බංගලාදේශයට හැකි විය.

ඒ අනුව තරගාවලියේ තරඟ දෙකක් ඉතිරිව තිබියදීම අවසන් මහා තරගයට සුදුසකම් ලැබීමට ඉන්දියාව හා බංගලාදේශය සමත් විය.

ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර තරගය සිකුරාදා (04) පැවැත්වීමට නියමිතයි.

එහි ප්‍රතිපලය තරඟාවලියට වැදගත් නොවන නිසා කණ්ඩායම් දෙකම ලෝක කුසලානයට පෙර සිය ක්‍රීඩකයන් අත්හදා බැලීමට එම තරගය යොදා ගනු ඇතැයි බලාපොරොත්තු වේ.