ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න පුළුවන් - මාලිංග

Image copyright AP

ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වුවත් දිගටම ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ලසිත් මාලිංග බීබීසී සංදේශයට පැවසීය.

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යැවූ බව සනාථ කළ ඔහු, තමන් කණ්ඩායමට තෝරා ගතහොත් තවදුරටත් වේග පන්දු යවන්නෙකු ලෙසින් ක්‍රීඩා කිරීමට සූදානම් බව බලධාරීන්ට දැනුම් දුන් බවත් සඳහන් කළේය.

"ආබාධයක් තිබුණත් 17 වැනිදා පළමු තරඟයට ක්‍රීඩා කරන්න හැකි වේවි කියන එකයි මගේ බලාපොරොත්තුව. නමුත් ඔවුන් කියනවා පුහුණු තරඟවලටත් ක්‍රීඩා කළ යුතුයි කියලා," ලසිත් මාලිංග පැවසීය.

ජගත් කුසලානයට තෝරා ගනු ලැබුවත්, නැතත් ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමේ කිසිදු බලාපොරොත්තුවක් තමන්ට නැති බවයි ඔහු අවධාරණය කළේ.

'සමුගන්නේ නෑ'

ආබාධ තත්වය හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියේ සියළු තරග සඳහා සහභාගි වීම අවිනිශ්චිත වීම ඔහු මෙලෙස නායකත්වයෙන් අස්වීමට හේතුව බවයි පැවසෙන්නේ.

මාලිංග ගේ ඉල්ලා අස්වීම පිළිගන්නේද, නැද්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත.

කෙසේවෙතත් ලසිත් මාලිංග වෙනුවට එක්දින හා ටෙස්ට් නායක ඇන්ජලෝ මැතිව්ස් විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග පවසන්නේ.

මෙම ආබාධ තත්වය නිසි ලෙස සුව නොවී ලෝක කුසලානයට ඔහු සහභාගි නොවුනහොත් එය මාලිංගගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසානය විය හැකි බවයි, ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය පවසන්නේ.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය තමාගේ අවසන් ජාත්‍යන්තර තරගාවලිය විය හැකි බවට ආසියානු තරගාවලිය අතරතුර ලසිත් මාලිංග ඉඟි කර තිබුණි.

මේ අතර ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අංශය ශක්තිමත් කිරීම සඳහා පිතිකරු ලහිරු තිරිමාන්න කණ්ඩායමට ඇතුලත් කල යුතු බවට මතයක් ගොඩ නැගෙමින් පවතී.

හිටපු නායකයන් වන කුමාර් සංගක්කාර හා අරවින්ද ද සිල්වා තිරිමාන්න කණ්ඩායමේ සිටිය යුතු ක්‍රීඩකයෙක් බව ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් තේරීම් කමිටුවේ විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබේ.

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්වීමට නියමිතයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර