ශරාපෝවා තහනම් උත්තේජක භාවිතය පිළිගනියි

Image copyright Getty

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ දී තහනම් උත්තේජක පරීක්ෂණයකින් තමන් අසමත් වූ බව හිටපු ටෙනිස් ලෝක ශුරී මරියා ශරාපෝවා ප්‍රකාශ කරයි.

විසි අට හැවිරිදි රුසියානු ජාතික ටෙනිස් ක්‍රීඩිකාව මෙල්ඩොනියම් නමැති තහනම් උත්තේජකය භාවිතා කළ බවයි පරීක්ෂණ වාර්තා සහතික කළේ.

කෙසේ වෙතත් සිය රෝගී තත්වයකට ප්‍රතිකාරයක් වශයෙන් තමන් 2006 වසරේ සිට මෙල්ඩොනියම් භාවිතා කළ බව මරියා ශරාපෝවා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියාය.

එක් වසරක් තුල ටෙනිස් වෙනුවෙන් පැවති ජාත්‍යන්තර ශුරතා පහක් දිනා ගැනීමට සමත් වූ ශරාපෝවාට එළඹෙන මාර්තු දොළොස් වන දින සිට තාවකාලික තරංග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනය තීරණය කර තිබේ.

තාවකාලික තරග තහනමක්

Image copyright Reuters

ශරාපෝවා සම්බන්ධයෙන් පැවැත්වෙන තහනම් උත්තේජක විභාගය අවසන් වන තුරු ඇය සමග ඇති අනුග්‍රාහක ගනුදෙනු නවත්වන බව ‘නයිකි’ සමාගම ප්‍රකාශ කර තිබේ.

සිරුරේ ලේ ගනමාගමනයේ ඇති විය හැකි බාධා අවම කිරීම වෙනුවෙන් භාවිත කළ හැකි ඖෂධයක් වන මෙල්ඩොනියම් නීත්‍යනුකූලව වසර දහයක් මුළුල්ලේ වෛද්‍ය උපදෙස් මත භාවිතා කළ බවයි ශරාපෝවා පවසන්නේ.

ඇය වැඩි දුරටත් කියා සිටියේ ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනය විසින් පසුගිය දෙසැම්බර් මාසයේ මෙලඩොනියම් තහනම් උත්තේජකයක් වශයෙන් ලැයිස්තු ගත කරනු ලබීම සිය අවධානයට ලක් නොවූ බවයි.

ලොව කාන්තා මලල ක්‍රීඩිකාවන් අතරින් ඉහළම ආදායමක් ලබන ක්‍රීඩිකාව ලෙස වසර එකොළහක් මුළුල්ලේ ‘ෆොර්බ්ස්’ ලැයිස්තුවේ නම් දරා සිටින්නේ ‘මරියා ශරාපෝවායි’.