WT20: ඉන්දියාව පරාදයි

Image copyright Getty

විස්සයි විස්ස ලෝක කුසලාන සුපිරි වටයේ පළමු තරගයෙන්, තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම ලෙස සැළකෙන සත්කාරක ඉන්දියානු කණ්ඩායම ලකුණු 47 කින් පරාජය කිරීමට නවසීලන්තය සමත් විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 126 කට සිමා කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

ප්‍රබල ඉන්දීය කණ්ඩායම පහසුවෙන් එම ලකුණු සංඛ්‍යාව හඹා යනු ඇතැයි විචාරකයෝ මත පළ කළහ.

කෙසේ වෙතත් ඉන්දියාවේ දඟ පන්දු යවන්නට වාසිදායක අයුරින් සැකසී තිබු 'නාග්පුර්' තණතිල්ල ප්‍රයෝජනයට ගත් නවසීලන්ත දඟ පන්දු යවන්නෝ ප්‍රබල ඉන්දීය පිතිකරු ලැයිස්තුව ලකුණු 79 සීමා කිරීමට සමත් වූහ.

නවසීලන්තය, තම කණ්ඩායමේ ප්‍රබල වේගපන්දු යවන ක්‍රීඩකයන් ඉවත් කොට ඒ වෙනුවට දඟ පන්දු යවන්නන් තිදෙනෙකු යෙද වීම ජයග්‍රහණයේ රහස බවයි විචාරකයන් තරගයෙන් අනතුරුව පැවසුවේ.

මෙම තරගය පරාජයත් සමග අවසන් පූර්ව වටයට සහභාගි වීම සහතික කර ගැනීම සඳහා ඉන්දියාව තමන් ඉදිරියේදී මුහුණ දෙන තරග තුනම ජයග්‍රහණය කළ යුතුයි.

ඒ අනුව සත්කාරක ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියාව, පාකිස්තානය හා බංග්ලාදේශයට එරෙහිව ඉදිරියේදී තරඟ වැදීමට නියමිතයි.

මේ අතර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය සඳහා පැවති තරඟයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කිරීමට නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.