WT20: ලෝක කුසලානයේ ශ්‍රී ලාංකිකයෝ

Image copyright Oman Cricket

ඉන්දියාවේ මේ දිනවල පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම හැරුණු විට තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජගත් කුසලානයට සම්බන්ධ වී සිටිති.

ඒ පුහුණුකරුවන් සහ උපදේශකයන් වශයෙන්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දුලිප් මෙන්ඩිස් පුහුණුකරන ඕමාන් කණ්ඩායම තරඟාවලිය ආරම්භයේ විශේෂ දක්ෂතා දැක්වීම WT20 ජගත් කුසලානයේ කැපී පෙනෙන සිදුවීමක්. ආරම්භයේ දස්කම් දැක් වූ නමුත්, ඕමාන කණ්ඩායම දෙවැනි වටයට සුදුසුකම් නොලැබීය.

එමෙන්ම චන්දික හතුරුසිංහ ගේ පුහුණුවීම් යටතේ බංග්ලාදේශය මෑතදී පෑ දස්කම්ද කැපී පෙනෙන්නක්.

Image copyright MUNIR UZ ZAMANAFPGetty Images

පසුගියදා පැවති ආසියානු කුසලාන ශූරතාවලියේදී ශ්‍රී ලංකාවද පරාජය කරමින් අවසාන මහා තරඟයට සුදුසුකම් ලැබූ අතර, විස්සයි විස්ස ජගත් කුසලානයේ සුපිරි වටයටත් සුදුසුකම් ලබා සිටී.

ශ්‍රී ලාංකික රුවන් කල්පගේ බංග්ලාදේශ කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු වන අතර, මාරියෝ වෙල්ලවරායන් අභ්‍යාසකවරයායි.

ක්‍රීඩා මාධ්‍යවේදී නිශ්මන් රණසිංහ මේ තත්වය විග්‍රහ කරන්නේ ශ්‍රී ලංකාවේදී නොසලකා හැරුණු දක්ෂතාවලට නව මාවතක් විවරවීමක් ලෙසින්.

"ක්‍රිකට් පුහුණුකරුවෝ වෙන රටවලට සම්බන්ධ වෙලා ඉගෙනගනිමින් තමයි මේ තත්වෙට ඇවිල්ල ඉන්නේ. හැබැයි දැන් අපේ පුහුණුකරුවන් සම්බන්ධයෙන් ලෝකය අවධානය යොමු කරලා තියෙනව," ඔහු පැවසීය.

එය ශ්‍රී ලාංකික පුහුණුකරුවන්ට ලොව වෙනත් රටවල 'වාණිජ වටිනාකමක්' හිමිවීමක් බව නිශ්මන් රණසිංහගේ අදහසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු වූ මාවන් අතපත්තු සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු වන අතර, අයර්ලන්ත කණ්ඩායමට පන්දු යැවීම පුහුණුකරන චමින්ද වාස් WT20 ජගත් කුසලානයට සම්බන්ධ වූ තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්.

එම කණ්ඩායම් දෙකම මේ වනවිට තරඟාවලියෙන් ඉවත් වී ගිහින්.

ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන එංගලන්ත කණ්ඩායමේ තාවකාලික උපදේශකයකු වශයෙන් කටයුතු කරන අතර, පාකිස්තාන කණ්ඩායමේ උපදේශකයකු වශයෙන් සම්බන්ධ වන මෙන් වත්මන් තේරීම් කමිටු සාමාජික කුමාර් සංගක්කාගෙන් ඉල්ලීමක් කෙරුණු බවටත් වාර්තා පළ විය.

Image copyright Getty

පුහුණුකරුවන් ලෙසින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට ලැබෙමින් පවතින මේ ජාත්‍යන්තර ඉල්ලුම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන් අවධානය යොමු කළ යුතු බවයි, නිශ්මන් රණසිංහ පෙන්වා දෙන්නේ.

"චන්දික හතුරුසිංහ ගැන කිවුවොත් එතන ඛේදනීය තත්වයකුත් තියනවා. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටි සෙවනැලි පුහුණුකරු තමයි හතුරුසිංහ. නමුත් ඉතාම අවාසනාවන්ත විදියට ඔහු තනතුරෙන් ඉවත් කරලා ඔහුට ශ්‍රී ලංකාවේ පිටවෙන්න වාතාවරණය සකස් කරනවා."

ඒ සමඟම ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හතුරුසිංහ පුහුණුකරු වශයෙන් බඳවා ගන්නා අතර, ඔහු බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු පදවියට පත් වේ.

"මේ සියලු දෙනාම ශ්‍රී ලංකාව විසින් අත්හරින ලද සහ නොසලකා හරින ලද සම්පත් විදියටයි මම දකින්නේ."