WT20: බංගලාදේශ පන්දු යවන්නන් දෙදෙනෙකුට තරග තහනමක්

බංගලාදේශ වේග පන්දු යවන ටස්කින් අහමඩ්ගේ සහ දඟ පන්දු යවන අර්ෆාත් සනීගේ පන්දු යැවීමේ ඉරියව් නීති විරෝධී බව පවසන අන්තර්ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඔවුන්ට තරග තහනමක් පනවා තිබේ.

නෙදර්ලන්තය සමග පසුගියදා පැවති ලෝක කුසලාන පළමු වටයේ තරගයකදී මෙම පන්දු යවන්නන්ගේ පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධයෙන් සැකයක් පවතින බව තරග විනිසුරුවරුන් විසින් අන්තර්ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලයට පැමිණිලි කරනු ලැබිණි.

ඒ අනුව පසුගියදා වේග පන්දු යවන ටස්කින් අහමඩ්ගේ සහ දඟ පන්දු යවන අර්ෆාත් සනීගේ ඉරියව් පරික්ෂා කෙරුණු අතර එහි දී තීරණය කෙරුණේ මොවුන්ගේ පන්දු යැවීමේ ඉරියව් නීත්‍යනුකූල නොවන බවයි.

Image copyright Getty Images

මෙම පරීක්ෂණ ප්‍රතිඵල පදනම් කර ගෙන අන්තර්ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පනවා ඇති තරග තහනම හේතුවෙන් ඔවුන්ට විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉදිරි තරග අහිමි වෙයි.

පසුගියදා පකිස්තානයත් සමග පැවති තරගයේ දී මෙම ක්‍රීඩකයන් දෙදෙනාම කඩුලු දෙක බැගින් දවා ගත් අතර ඔවුන් කණ්ඩායමට අහිමි වීම බංගලාදේශ කණ්ඩායමට විශාල පාඩුවක් වනු ඇත.

මෙම ක්‍රීඩකයන්ගේ ඉරියව් සැක සහිත බවට වාර්තා වූ අවස්ථාවේ දී බංගලාදේශ කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ ඒ පිළිබඳ කනස්සල්ල පළ කරමින් කියා සිටියේ සිය ක්‍රීඩකයන් දෙදෙනා පසුගිය වසර පුරාවටම පන්දු යැව්වේ එකම ආකරයට බවයි.

එම තරග වලදී ඔවුන්ගේ ඉරියව් ගැන ප්‍රශ්න නොකර ලෝක කුසලානයක දී ඒ ගැන පරීක්ෂා කිරීම තමන්ට ගැට‍ළු සහගත බවයි ඔහු පවසා තිබුණේ.