WT20: 'කණ්ඩායමේ ශක්තිමත් ආකල්පය ඉතා වැදගත්'

Image copyright Getty

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30 ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ බැංගලෝර් නුවර චින්නසාමි ක්‍රීඩාංගණයේ දීයි.

තරගය ආරම්භ වීමට පෙර පුවත්පත් සාකච්ඡාවකට එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් කියා සිටියේ අප බලාපොරොත්තු වන්නේ ක්‍රීඩා කරන සෑම තරගයක්ම දිනා ගැනීම බවයි.

කෙසේ වුවත් මේ අවස්ථාවේ දී සිය කණ්ඩායමට කුමන තරගයක් දිනිය හැකිදැයි අනුමාන කිරීමට තරම් කල් වේලා වැඩි බවයි ඔහු පවසන්නේ.

කණ්ඩායම හැර ගිය ජේෂ්ඨ ක්‍රීඩකයන් පිළිබඳ කතා කිරීමට මෙය අවස්ථාව නොවුනත් තරගයක පවතින බැරෑරුම් බවට ඉක්මනින් අනුවර්තනය වෙමින්, නිසි ලෙස ක්‍රීඩකයන් අතර කතිකා කර ගෙන තමන්ටම නිවැරදි තීරණ ගැනීමේ හැකියාව තිබූ දක්ෂ ක්‍රීඩකයන් රැසක් අපට අහිමි වී තිබෙන බවයි ග්‍රැහැම් ෆෝඩ් කියා සිටියේ.

Image copyright AFP

නමුත් එවැනි ජේෂ්ඨ ක්‍රීඩකයන් අතර ක්‍රීඩා කළ දක්ෂ ක්‍රීඩකයන් රැසක් තවමත් අපේ කණ්ඩායමේ සිටින බවත් ඔවුන් උගත යුතු ඒ වැදගත් පාඩම් ඉගෙන ගෙන තිබෙන බවත් පවසන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කරු කියා සිටියේ අවශ්‍ය තැනට සුදුසු ලෙස අනුවර්තනය වෙමින් උපක්‍රමශීලීව ක්‍රීඩා කිරීමේ හැකියාව වත්මන් කණ්ඩායම සතු බවයි.

ඒ සමගම කණ්ඩායම තුල පවතින ආකල්පය ඉතාමත් ශක්තිමත් බවත් එවැනි සාමුහික ආකල්පයක් තුලින් ක්‍රීඩකයන්ට තමන් පිළිබද දැඩි විශ්වාසයක් ලැබෙන බවත් ග්‍රැහැම් ෆෝඩ්ගේ අදහසයි.

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය ඉන්දියාවේ මුම්බායි නුවර වාන්කදෙයි ක්‍රීඩාංගණයේ දී මේ මොහොතේ පැවැත්වෙමින් තිබේ.