WT20: ශ්‍රී ලංකා කාන්තා පිලට පළමු ජයග්‍රහණය

විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉරිදා පැවති පළමු වටයේ තරඟයෙන් අයර්ලන්ත කණ්ඩායම ලකුණු 14 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය.

මොහාලි ක්‍රීඩාංගණයේ පැවති තරඟයේදී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා පිල නියමිත ඕවර විස්ස අවසානයේදී කඩුලු හතක් දැවී ලකුණු 129 ක් රැස් කරගත්තේය.

දහ වෙනි ඕවරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහක් දැවී ලකුණු 55 ක් පමණක් රැස් කොට අසීරු තත්වයක සිටි නමුත්, ඉන් අනතුරුව එශානි ලොකුසූරිය නොවී ලකුණු 35 ක් සහ ප්‍රසාදනී වීරක්කොඩි ලකුණු 32 ක් ලබාගැනීම කැපී පෙනින.

එයට ප්‍රතිචාර වශයෙන් නියමිත ඕවර 20 අවසානයේ අයර්ලන්ත කාන්තා පිල රැස් කර ගැනීමට සමත්වූයේ ලකුණු 115 ක් පමණි.

ආබාධයක් හේතුවෙන් කණ්ඩායමේ නායිකා ශෂිකලා සිරිවර්ධන මීට දින කිහිපයකට ඉහතදී කණ්ඩායමෙන් ඉවත් වූ අතර, ඉන් අනතුරුව චමරි අතපත්තු නායිකාව වශයෙන් පත්කෙරිණ.

'ඒ කාණ්ඩයේ' තරඟ කරන ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව මේ වනවිට ලකුණු දෙක බැගින් ලබා සමාන ස්ථානය පසුවන අතර, ලකුණු හතරක් ලබාගෙන නවසීලන්තයේ කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටියි.

ලබන බදාදා දකුණු අප්‍රිකාවට එරෙහි තරඟය පරාජය වුවහොත් අයර්ලන්තය ලෝක ශූරතාවලියෙන් ඉවත්ව යාමට සිදුවේ.

ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා පිල මේ වනවිට අට වන ස්ථානයේ පසුවේ.