ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හයේ පහර හතරේ අප නොදත් කතාව

2016 විස්සයි විස්ස ලෝක කුසලාන කිරුළු දෙකම හිමි වුනේ බටහිර ඉන්දීය කොදෙව්වන්ටයි. නමුත් කොදෙව් පිල ජයග්‍රහණය දක්වා පැමිණි ගමන් මගේ ඇතුළු කතාව බොහෝ දෙනෙකුට රහසක්.

කිරුළු පලන් කොදෙව් පිලේ නායක ඩැරන් සැමී කොල්කටා ක්‍රීඩාංගණයේ දී මාධ්‍ය හමුවේ එම කතාව ලෝකයට හෙළි කළේ සිය කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දැඩි ආත්ම විශ්වාසය අගය කරමින්.

“ඔබට ඇත්තටම දැනගන්න ඕනෙද අපි කොහොමද දිනුවේ කියලා, ඔව් අප ලෝක කුසලාන ගමන ආරම්භ කළා. අපට මොනවාද තිබුණේ කියලා හැමෝම දන්නවා. අපි තරගාවලියට සහභාගි වෙයිද නැද්ද කියලා මිනිස්සුන්ට අවිනිශ්චිත භාවයකුයි තිබුණෙ” “අපට ගොඩක් ප්‍රශ්න තිබුණා. අපිට කොදෙව් කි‍්‍රකට් පාලක මණ්ඩලය සැලකුවේ නෑ. අපි අගෞරවයට පත් වුණා. මාර්ක් නිකලස් කිව්වා අපේ කණ්ඩායම මොළයක් නැති කණ්ඩායමක් කියලා”

'අපි අගෞරවයට පත් වුණා'

ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන මාර්ක් නිකලස් කොදෙව් පිල අපහාසයට ලක් කළ බව ඉතා හැඟුම්බරව හෙළි කළ කොදෙව් නායක සැමී කියා සිටියේ එවැනි ප්‍රතිචාර හමුවේ නොසැලී සිය කණ්ඩායම එකමුතු වී අභියෝග ජයගැනීමට තරම් අනගි ක්‍රීඩකයන් වූ බවයි.

Image copyright AP

“තරඟ පටන් ගන්නත් ඉස්සෙල්ල වෙච්ච මේ දේවල් නිසා අපේ කණ්ඩායම එකමුතු වුනා. සියලූ අභියෝග සහ දුෂ්කරතා අමතක කරලා ඇවිත් කී‍්‍රඩා කිරීම ගැන මගේ කණ්ඩායමේ 15 දෙනාටම ස්තූති කරන්න ඕනේ, මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා මේ වගේ පක්ෂග්‍රාහී පාර්ශව ඉදිරියට ඇවිත් ඔවුන් අගනා ලෙස ක්‍රීඩා කිරීම ගැන. ඔවුන් කී‍්‍රඩා කළ ආකාරය සුවිශේෂයි. එය ඇත්තටම විශිෂ්ටයි.”

ලකුණු 156 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පැමිණි කොදෙව් ක්‍රීඩකයෝ ඕවර 19 යි පන්දු 04 ක් අවසානයේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය.

බටහිර කොදෙව් කණ්ඩායමේ මාලන් සැමුවෙල් ලකුණු 85ක් රැස් කරමින් පිටියේ රැඳෙමින් තරගය අත්නොහැර ක්‍රීඩා කළ අතර අවසාන පන්දු ඕවරයේදී පිට පිට හයේ පහර හතරක් එල්ල කරමින් කාලෝස් බ්‍රත්වෙට් පෑ පිති හරඹය ක්‍රීඩාලෝලීන් කුල්මත් කිරීමටත් ලොව වටා ක්‍රීඩා විස්තර විචාරකයන් පවා විශ්මයට පත් කිරීමටත් සමත් විය.

නිල ඇඳුම් තිබුණේ නෑ

කෙසේ වෙතත් කොදෙව් නායකයා කියා සිටියේ සිය කණ්ඩායමට නිසි නිල ඇඳුමක් ලබා දීමට පවා සිය ක්‍රිකට් පාලක මණ්ඩලය අසමත් වූ බවයි.

Image copyright Getty

“මෙම තරගාවලියේදී අපිට නව කළමණාකරුවෙක් ලැබුණා, ඔබ දන්නවා රෝල් ලූවිස්. ඔහු මීට පෙර කිසිම තරගයක් කළමනාකරණය කරලා තිබුනේ නැහැ. ඒත් ඔහු අපිත් එක්ක හිටියා. අපි ඩුබායිවල පුහුණු කඳවුරකට සහභාගි වුණා. නමුත් අපිට තරගවලට සහභාගි වන නිල ඇඳුම් තිබුණේ නෑ. කිසිම මුද්‍රණයක් ඇඳුම් වලට තිබ්බේ නෑ. ඔහු ඩුබායිවලින් පිටත් වෙලා කොල්කටාවලට ආවා. අපි මේ ඇදගෙන ඉන්න ඇදුම් ඔහුයි ලෑස්ති කරලා දුන්නේ. කියලා වැඩක් නැහැ ඔහු කොච්චර කරදර වලට මුහුණ දුන්නද කියලා අපිට අදින්න මේ ඇඳුම් අරගෙන දෙන්න. ඉතින් මගේ විශේෂ ස්තුතිය ඔහුට හිමියි.”

ලෝකයම කොදෙව් පිලේ දස්කම් අගයද්දී තවමත් තමන්ගේ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් සුබ පැතුම් පණිවුඩයක් ලැබෙන තුරු බලා සිටීමට සිදු වීම ඛේදජනක බවයි කොදෙව් පිලේ නායක ඩැරන් සැමී පැවසුවේ.

හයේ පහර හතරක ප‍්‍රහාරය

Image copyright AFP GETTY

“අගමැතිතුමා තරගයට පෙර උදෑසන කණ්ඩායම දිරිගන්වමින් ඊමේල් පණිවිඩයක් එව්වා. ඒත් මේ දක්වා අපේ කි‍්‍රකට් පාලක මණ්ඩලයෙන් අපිට කිසිදු ප‍්‍රතිචාරයක් නෑ. එය ඉතාමත් කණගාටුදායකයි”

විස්සයි විස්ස අනුශූරතාව දිනා ගනිමින් එංගලන්ත නායක ඔයින් මෝගන් තරගයෙන් පසු මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසුවේ අවසන් ඕවරයේ පළමු පන්දු හතරට හයේ පහර හතරක ප‍්‍රහාරයට ලක් වීමෙන් දැඩි වේදනාවට පත්ව සිටින සිය වේග පන්දු යවන ක‍්‍රීඩක බෙන් ස්ටොක්ස්ගේ වේදනාව කණ්ඩායම බෙදාගන්නා බවයි.