ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තාක්ෂණය අතින් නිවැරදිම පිතිකරු තිරිමාන්න - අරවින්ද

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් අතුරින් තාක්ෂණය නිවැරදිම ලෙස භාවිතාවේ යොදවන්නේ ලහිරු තිරිමාන්න බව හිටපු නායක වත්මන් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා පවසයි.

කණ්ඩායමේ අවශ්‍යතාවය සලකා බලා විස්සයි විස්ස ලෝක කුසලාන කණ්ඩායමට ලහිරු තිරිමාන්න ඇතුළත් කිරීමට තේරීම් කමිටුව තීරණය කළ බවයි තේරීම් කමිටු සභාපතිවරයා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ.

පසුගිය තේරීම් කමිටුව විසින් නම් කරන ලද කණ්ඩායම සංශෝධනය කොට තාවකාලිකව ලහිරු තිරිමාන්න කණ්ඩායමට කැඳවීමට අරවින්ද ද සිල්වා ඇතුළු තේරීම් කමිටුව තීන්දු කළ නමුත් තිරිමාන්නට ලකුණු අතරට පැමිණීමට නොහැකි විය.

''පරාජයේ වගකීම මම බාර ගන්නවා, අපි හිතට එකඟව හිතුවා මේක තමයි හොඳම සංයුතිය කියලා.''

'මම දැනුත් කියනවා, තිරිමාන්න තමයි අපට ඉන්න තාක්ෂණය අතින් නිවැරදිම පිතිකරුවා. අපි එයාගේ ස්ථානය පුළුවන් තරම් තහවුරු කරන්න ඕනේ. මාවන් දිගින් දිගටම අසාර්ථක වෙද්දීත් අපි එයාට අවස්ථාව දුන්නේ එයාගේ දක්ෂතා අපි දැක්ක නිසා. තිරිමාන්නත් ඒ වගේ' අරවින්ද ද සිල්වා පැවසීය.

මාලිංගගේ චෝදනාවලට පිළිතුරු

තමන්ට ආබාධයක් තිබියදී කණ්ඩායමට එක් කළ බවට ලසිත් මාලිංග විසින් නගන ලද චෝදනාවට පිළිතුරුදෙමින් අරවින්ද ද සිල්වා කියා සිටියේ තරගාවලියට ක්‍රීඩා කළ හැකි බව සඳහන් කරමින් ලසිත් මාලිංග එවන ලද ඊමේල් පණිවිඩය තමා සතු බවයි.

''අපි ඒ වගේ අයට ටිකක් අනුකම්පා කරන්න ඕනේ. අපි තව ටික දවසක් ඉඳලා බලමු මාලිංග කොහොමද ෆිට් වෙන්නේ කියලා. එතකොට ඔබලාට තේරෙයි, එයා කොයි වගේ වෙලාවටද ෆිට් වෙන්නේ මොන වගේ තරඟ තියන කොටද කියලා.''

තමන් තේරීම් කමිටු සභාපති ධුරය දරන්නේ අප්‍රේල් මස 30 වැනිදා දක්වා පමණක් බවද අරවින්ද ද සිල්වා එහිදී කියා සිටියේය.