වියැකී යන කූරගල රබන් හඬ

වීඩියෝ ශීර්ෂ වැකිය,

‘පරිහානියට’ පත් වන කූරගල බේර කර්මාන්තය ගැන විමසුමක්

සාම්ප්‍රදායික බෙර රබන් නිෂ්පාදන කර්මාන්තයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි .

විශ්ව කර්ම දේව පුත්‍රයා විසින් මවන ලදැයි ජන සාහිත්‍යයේ සඳහන් බෙරය නම් වාද්‍ය භාණ්ඩය පිළිබඳ ඉතිහාසය විජයාගමනයෙන් ඔබ්බට දිව යන බව ඇතැමුන්ගේ අදහසයි.

විජය කුමරු ශ්‍රී ලංකාවට පැමිණ කුවේණිය හමු වූ පළමු රාත්‍රියේ ඇය සමග සිටි ගෝත්‍රිකයන් බෙර වයමින් මහා නද නගමින් සතුටු වූ බව මහා වංශයේ සඳහන් වේ.

විජයාගමනයට පෙර ලක් දිව විසූ ගෝත්‍රික ජන කණ්ඩායම් බෙර වාදනය සංස්කෘතික අංගයක් ලෙස පවත්වා ගෙන ගොස් තිබෙන ඉහත කී ඉතිහාස වාර්තා මගින් අනුමාන කළ හැක .

එතරම් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන බේර කර්මාන්තය සහ ඒ හා සම්බන්ධ සම්ප්‍රදායන් පරිහානියට ලක් වෙමින් පවතින බව පෙනෙන්නට ඇති බවයි බීබීසී සංදේශය වෙනුවෙන් කූරගල ගම්මානය බලා ගිය ප්‍රසාද් පුර්ණිමාල් ජයමාන්න කියා සිටියේ.

මධ්‍යම පළාතේ කූරගල ගම්මානය ලෝක ප්‍රසිද්ධියට පත් වන්නේ බෙර, රබන් නිෂ්පාදනය හේතුවෙනි .

පැරණි රජ දවස සිට අද දක්වාම කූරගල ගම්වාසීන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ බෙර නිෂ්පාදනයයි.

කූරගල ශිල්ප සංවර්ධන සමිතියේ සභාපති කුරගල ප්‍රේමරත්න ප්‍රකාශ කළේ වසර දහස් ගණනක ඉතිහාසයකට උරුමකම් කියන බෙරය. රබාන වැනි වාද්‍ය භාණ්ඩ ලංකාවේ පොදු සමාජයෙන් ඉවත්ව කෞතුකාගාර තුළ පමණක් දැක ගත හැකි දිනය වැඩි ඈතක නොවන බවයි.

'නිසි පිළිගැනීමක්'

අමුද්‍රව්‍ය සොයා ගැනීමේ ගැටලුව හා වෙළඳපොළක් නොමැති වීම කර්මාන්තයේ බිඳ වැටීමට ප්‍රධාන හේතුව බව කූරගල ප්‍රේමරත්නගේ මතයයි .

සිංහල හින්දු අලුත් අවුරුද්දට නැතිවම බැරි වාද්‍ය භාණ්ඩයක් වන රබන් නිෂ්පාදනය මේ වන විට සම්පූර්ණයෙන්ම නැවතී ඇති බවයි අනුලාවතී මාතාව කියා සිටියේ.

'මම මේ රබාන විතරයි මේ පාර හැදුවේ.රබන් හැදිල්ල කරන්න බැහැ.ලී කඳන් නැහැ,හම් නැහැ.ඉතින් කොහොමද රබානක් හදල විකුණන්නේ?' අනුලාවතී මාතාව පැවසිය .

'තව කරුණක් තියනවා.අපේ කර්මාන්තයට පිළිගැනීමක් අවශ්‍යයි.එහෙම වුනොත් මේ සේරම ගැට‍ළු ඉවරයි.' ඇය වැඩිදුරටත් කියා සිටින්නීය.

කූරගල ශිල්ප සංවර්ධන සමිතියේ ලේකම් උපුල් සිල්වාගේ ද අදහස කර්මාන්තකරුවන්ට නිසි පිළිගැනීමක් ලබා දීම තුලින් කර්මාන්තය නගා සිටුවිය හැකි බවයි .

'අපේ කර්මාන්තයටත් උපාධියක් ලබා දිය යුතුයි . ඒ වගේම රජයේ සේවකයන්ට ලබා දෙන පිළිගැනීම අපිටත් දිය යුතුයි.පාසලකට ළමයෙක් ඇතුළත් කිරීමේදී, රජයේ සේවකයන්ට ලබා දෙන ණය සහන, යතුරුපැදි වැනි දීමනා අපේ කර්මාන්තකරුවන්ටත් ලබා දිය යුතුයි.'කූරගල ශිල්ප සංවර්ධන සමිතියේ ලේකම් උපුල් සිල්වාගේ මෙන්ම කුරගල බහුතරයක් ගම්වාසීන්ගේ මතය එයයි.