උතුරේ ඉඩම් යළි අත්පත් කරගන්නේ නෑ - ආරක්ෂක ලේකම්

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි
ආරක්ෂක හමුදාව විසින් උතුරේ කිසිදු ප්‍රදේශයක අලුතෙන් ඉඩම් අත්පත් කර නොගන්නා බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි අවධාරණය කරයි.
ආරක්ෂක හමුදා විසින් යුද සමයේ අත්පත් කරගන්නා ලද උතුර නැගෙනහිර සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් ක්‍රමයෙන් යළි භාර දෙමින් සිටින අතරවාරයේ, යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ ඉඩම් යළි අත්පත් කරගැනීමට සැරසෙන බවට ආරක්ෂක හමුදාවලට පසුගියදා චෝදනා එල්ල විය.
එහෙත් එවැන්නක් සිදු නොවන බවයි, ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ.
"කලින් පටන් ගත්ත අත්පත් කරගැනීමේ කටයුතු දිගටම කරගෙන යනවා. අලුතෙන් අත්පත් කරගැනීමක් කරන්නේ නෑ," ඔහු සඳහන් කළේය.
කලින් ආරම්භ කළ අත්පත් කරගැනීම් කවරක් දැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ: "ඒ කියන්නේ රාජ්‍ය ආරක්ෂාවට අපි කියමු පලාලි ගුවන් තොටුපොල නැත්නම් කන්කසන්තුරේ වරායට අවශ්‍ය කරන ඉඩම් පවරා ගැනීම් කටයුතු දැනට අවුරුදු හත අටකට කලින් පටන් ගෙන තියෙනවා. ඒ කටයුතු ඇරෙන්න අලුතෙන් ඉඩම් පවරා ගැනීමක් කෙරෙන්නේ නෑ," බවයි.
පානම ඉඩම්
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"කලින් පටන් ගත්ත අත්පත් කරගැනීමේ කටයුතු දිගටම කරගෙන යනවා. අලුතෙන් අත්පත් කරගැනීමක් කරන්නේ නෑ,"
මේ අතර සිය පාරම්පරික ඉඩම්වල පදිංචිවීමට දරන උත්සාහයට බාධා නොකරන මෙන් අධිකරණ නියෝගයක් පවා තිබියදී යළිත් වරක් තමන්ට බාධා කරන බවට පානම ප්‍රදේශවාසීහු ගුවන් හමුදාවට චෝදනා කරති.
එහෙත් එවැනි බාධා කිරීමක් පිළිබඳව මෙතෙක් තමන්ට සැල වී නැති බවයි ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ.
"ඔය ඉඩමේ අයිතිය ගුවන් හමුදාවට නෑනේ? ඔය ඉඩමේ අයිතිය තියෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයට. අපි කළේ ඉදිකිරීම් වැඩ විතරයි," ඔහු පැවසීය.
අධිකරණ නියෝග නොතකා ගුවන් හමුදාව පානම ගම්වාසීන්ට බාධා කිරීම පිළිබඳව නිසි තොරතුරු ලබාදෙන්නේ නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් බවත් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසීය.
ඉඩම් යළි භාරදෙන බවට කැබිනට් තීන්දුවක් පවා තිබියදී එය මෙතරම් පමා වන්නේ මන්දැයි විමසූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ එය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමසිය යුතු බවයි.