වරාය නගරයේ ඉදිකිරීම් 'මැයි මාසයේ යළි ආරම්භ කරනවා'

නියෝජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා
Image caption 'පසුගිය රජයේ මේ තුළ නිකන්ම ගොඩනැගිලි හදන්නත් රේස් ධාවන පථයක් හදන්නත් තමයි කටයුතු කරමින් සිටියේ'

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් ලබන මාසයේ යළි ආරම්භ කරන බව ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසයි.

ඉහත කී ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පැවති අවාසිදායක සාධක සංශෝධනය කොට වරාය නගරය යළි ආරම්භ කිරීමට චීනය හා එකඟ වූ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

වසරකට වැඩි කාලයක් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට අදාළ ව්‍යාපෘතියෙන් හානියක් නොවන බව තහවුරු කර ගත් බවත් ඔහු සඳහන් කළේය.

පැවති ආණ්ඩුව විසින් වරාය නගරයේ ඇතැම් කොටස් සින්නක්කර වශයෙන් ලබා දීමට එකඟ වී සිටි නමුත් මේ වන විට එකී කොන්දේසි සංශෝධනය කොට ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

"අනූ නව අවුරුදු බදු ක්‍රමයට අපි මෙය පරිවර්තනය කොට තිබෙනවා. සින්නක්කර ක්‍රමයට කිසිදු ඉඩමක් පවරා දෙන්නේ නැහැ."

වරාය නගර ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමීම හේතුවෙන් අදාළ සමාගමට වන්දි ගෙවීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට සිදුව ඇති බවයි ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබුණේ.

'ජාත්‍යන්තරයට විවෘත්තයි'

Image copyright Getty Images
Image caption 'අනූ නව අවුරුදු බදු ක්‍රමයට අපි මෙය පරිවර්තනය කොට තිබෙනවා. සින්නක්කර ක්‍රමයට කිසිදු ඉඩමක් පවරා දෙන්නේ නැහැ.'

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකා ආණ්ඩුවට එවැනි වන්දියක් ගෙවීමට සිදු නොවන බවයි.

අදාළ කොන්දේසිවලට යටත්ව ලොව ඕනෑම රටක ව්‍යාපාරිකයකුට හෝ ව්‍යාපාරික ආයතනයකට චීනය සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව ගොඩනගන වරාය නගරයේ ආයෝජනය කිරීමට හැකි බවත් ඔහු පැවසීය.

වරාය නගරය ඉන්දීය සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම ආණ්ඩුවේ සැලසුම වන බවයි නියෝජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා වැඩිදුරටත් කියා සිටියේ.

''පසුගිය රජය මේ තුළ නිකන්ම ගොඩනැගිලි හදන්නත් රේස් ධාවන පථයක් හදන්නත් තමයි කටයුතු කරමින් සිටියේ.''

මේ අතර කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යළි ආරම්භ කළහොත් යහපාලන ආණ්ඩුවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට පරිසර සංවිධාන අනතුරු හඟවති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර