'ක්‍රිකට් ක්ෂේත්‍රය මුළුමනින්ම ප්‍රතිසංවිධානය කළ යුතුයි' -සංගා

kumar_sangakkara
ඡායාරූප ශීර්ෂ වැකිය,

සියළු සම්පත් ශ්‍රී ලංකික ක්‍රිකට් ක්‍රීඩාව සතුව තිබුණද ඒවා සුදුසු ලෙස සකසා ගැනීමට වැඩ පිළිවෙලක් සකසා ගත යුතු බවටයි ඔහු යෝජනා කරන්නේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ පැහැදිලි ප්‍රතිසංවිධානයක් සිදුවිය යුතුව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ බීබීසීය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින්.

ක්‍රීඩාව සම්බන්ධයෙන් ගත්විට සියළු සම්පත් ශ්‍රී ලංකික ක්‍රිකට් ක්‍රීඩාව සතුව තිබුණද ඒවා සුදුසු ලෙස සකසා ගැනීමට වැඩ පිළිවෙලක් සකසා ගත යුතු බවටයි ඔහු යෝජනා කරන්නේ. මහත් දක්ෂතා ඇති ක්‍රීඩකයන් පිරිසක් අපට සිටින මුත් ඔවුන් නව අභියෝගයන් භාර ගැනීම සඳහා කායිකව මෙන්ම මානසිකව ද සුදානම් කළ යුතු බවද ඔහු පැවසීය.

කුසලතා වර්ධනය

ග්‍රැහැම් ෆෝර්ඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්වීම පිළිබඳව අතිශය සතුටට පත් වන බව කී කුමාර් සංගක්කාර ක්‍රීඩකයන්ට නොකඩවා තම කුසලතා වර්ධනය කර ගැනීමට අවස්තාව සලසා දිය යුතු අතර ඔවුන් ක්‍රීඩා පිටියෙන් ඉවත්කර තැබීම නොකළ යුතු බවයි පැවසුවේ.

"ජාත්‍යන්තර තරඟවලට සහභාගීවීමට ඉඩ තියන වෙලාවට ක්‍රීඩකයන්ට ඒ සඳහා හොඳ අවස්ථාවක් ලබාදෙන්න ඕන කියල ඔවුන් තේරුම් ගන්න ඕන. අන්තර්ජාතික තරඟ වලට සෙල්ලම් කරන ක්‍රීඩකයන් හතලිස් දෙදෙනෙක් අපිට ඉන්නව පසුගිය මාස එකොළහට තරඟ කරපු තරඟාවලී තුන හතර සඳහා ඒක ඉතා විශාල සංඛ්‍යාවක්. ඒ කියන්නෙ කණ්ඩායම් හතරකට තරම් ක්‍රීඩකයන් ප්‍රමාණයක්. ඒ නිසා අපි පැහැදිලි කළමනාකරණයක් කරගන්න ඕන කොහොමද ක්‍රීඩකයෝ සහ කණ්ඩායම් හදන්නෙ කියන එක ගැන" යනුවෙන් ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම එක්තරා ආකාරයක සංක්‍රාන්ති සමයක් ගත කරන බවයි සංගක්කාර පෙන්වා දෙන්නේ

සංක්‍රාන්ති සමයක්

පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ සිදුවූ සැලසුම් කිරීම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට වඩාත්ම උචිත ඒවා නොවූ බවයි කුමාර් පවසන්නේ. තමන් වසර දෙකකට කලින් විස්සයි විස්ස තරඟ වලින් ඉවත් වුවා සේම මහේල ද ඉවත් වූ බව පෙන්වා දෙන ඔහු මෙය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම සඳහා එක්තරා ආකාරයක සංක්‍රාන්ති සමයක් වුවත් එම අවස්ථාවට ගැලපෙන ආකාරයට ක්‍රමෝපායන් තෝරා නැති බවයි අවධාරණය කරන්නේ.

"අපි හරි ආකෘතිය ද යොදාගන්නෙ, මේ සංක්‍රාන්ති කාලය කෙටිකර ගන්න අපි හරි ක්‍රමවේදය ද භාවිතා කරන්නෙ කියන ඒක ප්‍රශ්නයක්. අපේ කණ්ඩායම වැඩුණු ආකාරය සලකා බලන කොට කලිනුත් ක්‍රීඩකයෝ විශ්‍රාම ගියා, මොකද ක්‍රීඩකයෝ විශ්‍රාම යන ඒක සාමාන්‍ය දෙයක්. ඉදිරි වසර වල දී තවත් අය විශ්‍රාම යාවි. ප්‍රශ්ණය වෙන්නෙ අපි අපේ වඩාත් හොඳ ක්‍රීඩකයන්ට ද අවස්ථාව දීල තියෙන්නෙ ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න කියන එකනම් උත්තරය වෙන්නෙ නැහැ කියන එකයි" යනුවෙනුයි ඔහු ප්‍රකාශ කළේ.

සමතුලිත පරිසරය

එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ දී සංගක්කාර පැවැත්වූ අන්දෝලනාත්මක කතාවක දී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දේශපාලනීකරණය පිලිබඳ විවේචනාත්මකව අදහස් දැක්වූ අකාරය පිලිබඳව බීබීසීය විසින් සිහිපත් කරනු ලැබූ මොහොතේ ඔහු පැවසුවේ දේශපාලනයෙන් තොර සමතුලිත පරිසරයක් තුළ කෙරෙන ක්‍රිකට් ක්‍රීඩාවක් වෙනුවෙන් ශ්‍රී ලංකාව තව බොහෝ දුර යායුතු බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ක්‍රිකට් ක්‍රීඩාවට සේවය කිරීම සඳහා පරිපාලනයට ම සම්බන්ධ වීම අවශ්‍ය නොවන බවයි සංගක්කාර පවසන්නේ

"මම හැම තිස්සෙම විශ්වාස කරන දෙයක් තමයි ක්‍රිකට් බලධාරීන්, ක්‍රීඩකයෝ, ජන මාධ්‍ය සහ නරඹන්නෝ යන සියල්ලන්ම ක්‍රිකට් ක්‍රීඩාවට විශාල කැමැත්තක් දක්වනව. නමුත් ඒ කැමැත්ත සීමාව ඉක්මවා නොයන්න පරෙස්සම් වෙන්න ඕන. මොකද ඒ කැමැත්තෙන් අන්ධ භාවයට පත්වෙලා කලයුත්තේ මොකක්ද? නිවැරදි දේ මොකක්ද කියල හොයාගන්න බැරිව යනව. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරන කොට වඩාත් නිවැරදි දේයි කළ යුතු වන්නේ" යැයි ඔහු වැඩි දුරටත් පැවසීය.

පරිපාලනයට

ඉදිරියේ දී ක්‍රිකට් පරිපාලනයට එක්වීමේ අදහසක් ඇත්දැයි විමසු විට හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පැවසුවේ ක්‍රිකට් ක්‍රීඩාවට සේවය කිරීම සඳහා පරිපාලනයට ම සම්බන්ධ වීම අවශ්‍ය නොවන බවයි. ලොකු හෝ කුඩා වේවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට කළ හැකි මෙහෙය කිරීමට ක්‍රීඩකයන් සහ නරඹන්නන් ඇතුළු හැමදෙනාටම හැකියාව ඇති බවයි ඔහු කියා සිටියේ.

තමන් ක්‍රිකට් තේරීම් කමිටුවට සම්බන්ධව කටයුතු කළේ පසුගිය ලෝක කුසලාන තරගාවලිය සඳහා පමණක් බවත් තමා එම තනතුර භාර ගත්තේ ද අරවින්ද ද සිල්වා තමාගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමත් ලෙසත් බවත් ඔහු පැවසීය.

තමන්ට මේ දක්වා කටයුතු කිරීමට ලැබුණු වඩාත් හොඳම තේරීම් කමිටු සභාපතිවරයා අරවින්ද ද සිල්වා බවයි ඔහු ප්‍රකාශ කළේ. කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා පිළේ නායකත්වය දැරූ 2011 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පැවති සමයේ දී ද තේරීම් කමිටු සභාපතිවරයාව සිටියේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වායි.