ආණ්ඩුව සහ විග්නේස්වරන් අතර තීරණාත්මක සාකච්ඡාවක් 18 වෙනිදා

cv_vignesvaran
ඡායාරූප ශීර්ෂ වැකිය,

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා උතුරේ වැසියන්ට අයත් පෞද්ගලික ඉඩම් රජයට පවරා නොගන්නා බවට සහතික වී ඇති බවයි ප්‍රධාන අමාත්‍යවරයා පවසන්නේ

රජයේ අවශ්‍යතාවයන්ට උතුරේ වැසියන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම ලබන 18 වෙනිදායින් පසුව අවසන් වණු ඇතැයි තමන් විශ්වාස කරණ බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් පවසයි.

යාපනයේ දී ජනමාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේ දීය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

ලබන දහ අට වෙනිදා ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් මේ කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කොළඹට පැමිණෙන ලෙස තමන්ට දන්වා ඇති බව කී ප්‍රධාන අමාත්‍යවරයා මීට පෙර මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා උතුරේ වැසියන්ට අයත් පෞද්ගලික ඉඩම් රජයට පවරා නොගන්නා බවට සහතික වී ඇති නිසා එසේ විශ්වාස කරණ බවද කියා සිටියේය.

ජනාධිපතිවරයා විසින් ප්‍රධාන අමාත්‍යවරයාව කොළඹට කැදවා ඇත්තේ උතුරේ වැසියන්ට අයත් ඉඩම් අත්පත් කර නොගන්නා බවට රජයත්,ආරක්ෂක අංශත් ජනමාධ්‍ය ඔස්සේ නිවේදන හා ප්‍රකාශ නිකුත් කරමින් සිටින අවස්ථාවකදීයි.

මුලතිවු කෝකිලායි හා කොකුතුඩුවායි යන පළාත්වලට දකුණේ සිංහල ධීවරයින් රැගෙනවිත් බලහත්කාරයෙන් පදිංචි කරවීමේ වැඩ පිළිවෙලක් නිසා එම පළාතේ දැඩි අර්බුදයක් හටගෙන ඇතැයිද විග්නේස්වරන් ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

අලුතින් උතුරේ ඉඩම් පවරාගැනීමක් කිසි සේත්ම අරඹා නැති බවයි ආරක්ෂක ලේකම්වරයා පසුගියදා සංදේශයට කියා සිටියේ

පළාතේ ග්‍රාම නිලධාරීවරයාට අලුතෙන් පැමිණි ධීවරයින් පහර දෙන තත්ත්වයකට මෙම ප්‍රශ්ණය උග්‍ර වී ඇති නිසා මේ ගැනද ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරණ බවද ඔහු කියා සිටියේය.

උතුරු පළාත තුළ වැසියන් යළි පදිංචි කරවීම සම්බන්ධයෙන් ස්ථිර ප්‍රතිපත්තියක් මේ සාකච්ඡාවේදී ඇතිකරගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සදහන් කළේය.

ඔහු තවදුරටත් කියා සිටියේ උතුරු පළාත්සභාව තුළ අමාත්‍ය මණඩල සංශෝධනයක් මෑතකදී සිදු නොවන බවයි.

බොහෝ පිරිසක් අමාත්‍ය මණ්ඩල වෙනස් කිරීමක් අවශ්‍ය බවට ඉල්ලීම් කරණ නමුත් දැනට සිටින සියලුම අමාත්‍යවරුන් ඉතා හොදින් සේවය කරණ බැවින් අමාත්‍ය මණ්ඩලය වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නැතැයිද කියා සිටියේය.