දලිත් වෙමුලා පවුලේ සාමාජිකයෝ බුදු සමය වැළඳ ගනිති

rohith vemula
ඡායාරූප ශීර්ෂ වැකිය,

රෝහිත් වෙමුලා

ඉන්දියාවේ දලිත් කුලයට අයත් පර්යේෂකයකු වූ සිය දිවි හානිකර ගත් ආචාර්ය රෝහිත් වෙමුලාගේ මව සහ සහෝදරයා අද (14) බුදු සමය වැළඳ ගත්හ.

එම පියවර ගනු ලැබුණේ දලිත් ජාතිකයන්ගේ මහා පුරුෂයකු වූ බී.ආර්.අම්බෙඩ්කාර්ගේ ජන්ම දිනය යෙදීමත් සමඟයි.

ආචාර්ය උපාධිධරයකු වූ රෝහිත් වෙමුලා පසුගිය ජනවාරි 17 වෙනි දින හයිදරාබාද් සරසවියේ නේවාසිකාගාරයක කුටියක් තුළදීයි සිය දිවි හානි කර ගන්නා ලද්දේ.

භාරතීය ජනතා පක්ෂයේ ශිෂ්‍ය නායකයකු වන එන්.සුශීල් කුමාර්ට පහර දීමක් සම්බන්ධයෙන් සරසවි පාලනය විනය ක්‍රියාමාර්ගයක් ගනිමින් රෝහිත් වෙමුලා සහ තවත් ශිෂ්‍යයන් හතර දෙනකුට තහංචි පැනවීමෙන් අනතුරුවයි එම සිය දිවි හානිකර ගැනීම සිදු වුණේ.

rohith vemula supporters in protest
ඡායාරූප ශීර්ෂ වැකිය,

රෝහිත් වෙමුලා වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටිමින්

ඉන්දියානු ව්‍යවස්ථාවේ ප්‍රධාන නිර්මාර්තෘවරයා වන ආචාර්ය බී.ආර්.අම්බෙඩ්කාර් ගේ 125 වෙනි ජන්ම දිනයයි මෙවර උදා වන්නේ.

වෙමුලා පවුල බුදු සමය වැළඳ ගත් අවස්ථාවට බී.ආර්.අම්බෙඩ්කාර්ගේ මුනුපුරකු වන ආචාර්ය ප්‍රකාශ් අම්බේඩ්කාර් ද සහභාගී විය.

බී.ආර්.අම්බෙඩ්කාර් 1956 වසරේ දී බුදු සමය වැළඳ ගත්තේ හින්දු කුල ක්‍රමයට එරෙහිවයි.

අද (14) ලක්නව් නගරයේ පැවැත්වුන බී.ආර්.අම්බෙඩ්කාර් සමරු රැස්වීමක් අමතා දලිත් නායිකා මායාවතී කතා කළාය.