වැට් බද්ද වැඩි කරන්නේ ණය බරෙන් නිදහස් වීමට: ඇමති නිරෝෂන්

නියෝජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා

ඡායාරූප මූලාශ්‍රය, Niroshan Perera/ Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය,

'වැට් බද්ද වැඩි කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑමක් නිසා නොවේ: ආණ්ඩුව තීන්දු ගනු ලබන්නේ ස්වාධීන රටක් හැටියට'

වත්මන් ආණ්ඩුව වැට් බද්ද 2% කින් වැඩි කිරීමට තීන්දු කළේ ආණ්ඩුවට ගෙවීමට සිදු වී ඇති අතිවිශාල ණය හේතුවෙන් යයි ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු භාර නියෝජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා පවසයි.

බීබීසී සංදේශය සමඟ පැවැත්වුන සාකච්ඡාවක දී නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ කුමන රජයක් විසින් ණය ගනු ලැබ ඇතත් බලයේ සිටින රජය විසින් ඒවා ගෙවීමට බැඳී සිටින බවයි.

ශ්‍රී ලංකාව සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ණය ගනු ලැබ ඇතත් එම ව්‍යාපෘතීන් මගින් ආදායම් ලැබිය නොහැකි තත්වයක උද්ගතව පවතින බවයි නියෝජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා පවසන්නේ.

"යටිතල පහසුකම් දියුණු කිරීමේ දී ඒවා ආර්ථිකයට එකතු කළ යුතු නමුත් පසුගිය රජය සමයේ සිදු කෙරුණ ආර්ථික යටිතල පහසුකම් දියුණු කිරීම් ආර්ථික ආදායම් මාර්ග බවට පත් වී නැහැ," නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කරයි.

මහජනයාට බර පැටවීමක්

පසුගිය පාලන සමය තුළ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා වැය කරන ලද මුදල් ප්‍රමාණය විශාල මට්ටමක වීම සහ දූෂණ සහ වංචා දැනට උද්ගත වී ඇති අර්බුදයට හේතු වී ඇති බවයි නියෝජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

අප්‍රියෙල් පළමු වෙනිදා පටන් වැට් බද්ද වැඩි කිරීමට තීන්දු කර තිබුණත් එය ප්‍රමාද කෙරුණේ මහජනයාට වැඩි බරක් පැටවීමට ආණ්ඩුව අකැමැති නිසා බවත් ඔහු පවසයි.

කෙසේ වුවද, ප්‍රමාද වී හෝ වැට් බද්ද වැඩි කිරීම නිසා භාණ්ඩ මිල ඉහළ ගොස් ජනතාවට බරක් දැරීමට සිදු වෙනවා නොවේදැයි බීබීසී සංදේශය විමසූ විට එය පිළිගත් නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ, 2015 ජනවාරි 08 වෙනිදා ජයග්‍රහණයෙන් අනතුරුව ආණ්ඩුව ජනතාවට සහන සැලසීමක් සිදු කළත් පසුගිය ආණ්ඩුව විසින් විවිධ ආයතන හරහා ගනු ලැබ ඇති විශාල ණය ප්‍රමාණයන් පිළිබඳව හෙළිදරව් වීමත් සමඟ මෙවැනි ක්‍රියා මාර්ගයකට යාමට සිදු වී ඇති බවයි කියා සිටියේ.

ජාත්‍යන්තර මූල්‍ය ආයතන

මෙවැනි බදු වැඩි කිරීමක් සිදු කිරීම තීන්දු කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මතදැයි බීබීසී සංදේශය ප්‍රශ්න කළ විට නියෝජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා සඳහන් කළේ 'එවැනි බලපෑමක් නොමැති අතර ආණ්ඩුව තීන්දු ගනු ලබන්නේ ස්වාධීන රටක් හැටියට' බවයි.

එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණක් නොව සෙසු ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟත් වත්මන් රජය නිරන්තරයෙන් සබඳතා පවත්වන බවයි ඇමතිවරයා පවසන්නේ.