මරාගෙන මැරෙන බෝම්බ කට්ටලය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට

යාපනයේ පුපුරන ද්‍රව්‍ය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

සිවිල් ඇඳුමින් සිය නිවසට පැමිණි පිරිසක් සිය පුතුගෙන් පැය බාගයක පමණ කාලයක් ප්‍රශ්න කළ බවත් ඉන් අනතුරුව මාංචු දමා රැගෙන ගිය බවත් සුන්දරම් දේවී කියා සිටියාය.

උතුරෙන් හමු වූ එල්ටීටීඊයේ මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් සම්බන්ධයෙන් සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් තම පුතු අත්අඩංගුවට ගත් බව චාවාකච්චේරියේ මවක් පවසයි.

සිවිල් ඇඳුමින් සිය නිවසට පැමිණි ඉහත කී පිරිස සිය පුතුගෙන් පැය බාගයක පමණ කාලයක් ප්‍රශ්න කළ බවත් ඉන් අනතුරුව මාංචු දමා රැගෙන ගිය බවත් සුන්දරම් දේවී කියා සිටියාය.

සිය පුතු වව්නියාවේ ත්‍රස්ත මර්දන ඒකකයේ රඳවා ගෙන සිටින බව ඇය විසින් මානව හිමිකම් කොමිසම් සභාව වෙත සිකුරාදා පැමිණිලි කොට තිබේ.

එදින සිය පුතු බැලීමට වව්නියාව ත්‍රස්ත මර්දන ඒකකයට ගිය අවස්ථාවේ ඉරිදා බූස්ස කඳවුරට පැමිණ පුතු බලන ලෙස එහි සිටි නිලධාරීන් තමාට කියා සිටි බවයි සුන්දරම් දේවී සඳහන් කළේ.

පසුගියදා යාපනයේ චාවාකච්චේරි ප්‍රදේශයෙන් හමු වූ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලය සහ පුපුරන ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සැක පිට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරියෙක් කියා සිටියේය.

ජාතික ආරක්ෂාව

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ප්‍රකාශ කළ නොහැකි බව වව්නියාව පොලිස් ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීහු පැවසූහ.

පසුගියදා යාපනය චාවාකච්චේරි ප්‍රදේශයේ නිවසක තිබී මරාගෙන මැරෙන ඇදුම් කට්ටලයක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයා ගැනිණි.

විපක්ෂයේ ඇතැම් පිරිස් කියා සිටියේ එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි.

යුද සමයේ සැඟවූ වූ සහ අත්හැර දමා ගිය පුපුරන ද්‍රව්‍ය සහ යුද උපකරණ, යුද්ධය පැවති ප්‍රදේශවලින් හමු වීම සාමාන්‍ය තත්වයක් බවත් එමගින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවත් ඊට ප්‍රතිචාර දක්වමින් ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි අවධාරණය කළේය.