asantha_economic
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'මුදල් අච්චු ගැසීමට වඩා වැට් ඉහළ නැංවීම යහපත්'

බදු ඉහළ නංවනවාට වඩා වැඩි හානියක් සල්ලි අච්චු ගැසීමෙන් සිදු වන බව 'ඉකොනොමි නෙක්ස්ට්' මූල්‍ය සඟරාවේ කර්තෘ අසන්ත සිරිමාන්න පවසයි.

වත්මන් ආණ්ඩුව බලයට පත් වීමත් සමග ලබා දුන් පාරිභෝගික සහන සහ රුපියල් දස දහසේ වැටුප් වර්ධකය සඳහා දැරීමට සිදු වූ අධික වැය වැට් බදු ඉහළ නැංවීම කෙරෙහි බලපෑ එක් ප්‍රධාන සාධකයක් බව ඔහු පෙන්වා දෙයි.

'ඒක ප්‍රධාන හේතුවක්. තමාගේ වියදම් සහ ආදායම් කළමනාකරණය කරන්න බැරි වීම. ඒ සමග අයවැය හිඟය ඉතාමත් සීග්‍ර වශයෙන් වැඩි වුනා' ඔහු සඳහන් කළේය.

එසේ ජනතාවට සහන ලබා දීමෙන් අනතුරුව බදු හරහා රජයේ වියදම් සපයා ගත නොහැකි වූ බැවින් පසුගිය වසරේදී ආණ්ඩුවට මුදල් අච්චු ගැසීමට සිදු වූ බවයි මාධ්‍යවේදී අසන්ත සිරිමාන්න පෙන්වා දෙන්නේ.

'ගිය අවුරුද්දේ රාජ්‍ය වියදම් සීග්‍ර ලෙස වැඩි කළා. පඩි, විශ්‍රාම පඩි, සමෘද්ධිය වැඩි කළා. නමුත් ඒ සඳහා වියදම් කරන්න බදු මුදල් නැහැ. ඒ නිසා පසුගිය වසරේ මුදල් අච්චු ගැහුවා. ඒ නිසා රුපියල කඩා වැටුණා' යනුවෙනුයි ඔහු ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් පසුගිය ආණ්ඩු සමයේ ලබා ගත් අධික ණය හේතුවෙන් වැට් බද්ද 2% කින් වැඩි කිරීමට සිදු වූ බවට වත්මන් ආණ්ඩුව කළ ප්‍රකාශයේ අර්ධ සත්‍යයක් තිබෙන බවත් ඔහු කියා සිටියේය.

'අර්ධ සත්‍යයක්'

යම් කිසි රටක් විසින් ලබා ගනු ලැබූ ණයක් නැවත ශුද්ධ වශයෙන් ගෙවනු ලැබීමක් සාමාන්‍යයෙන් සිදු නොවන බවත් බොහෝ විට සිදු වන්නේ එසේ ගනු ලැබූ වාණිජ ණය නැවත අලුත් කිරීමට උත්සාහ කිරීම බවත් මාධ්‍යවේදී අසන්ත සිරිමාන්න පැවසුවේය.

''එසේ කිරීමට නම් ආයෝජකයන්ගේ විශ්වාසය තිබෙන්න අවශ්‍යයි. පසුගිය වසරේ සහ මේ වසරේ අපිට තේරුම් ගිය දෙයක් තමයි අපට ණය දුන්න වාණිජ ආයෝජකයෝ බැඳුම්කර විකුණලා රටින් ගියා'' යැයි පැවසූ ඔහු බදු ඉහළ නැංවීමෙන් වැළකී ආණ්ඩුවේ ආදායම ඉහළ නැංවීම සඳහා ණය ලබා ගැනීම ඒ සඳහා විසඳුමක් හෝ කෙටි ක්‍රමයක් නොවන බවයි පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් ආණ්ඩුවට අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා මුදල් අච්චු ගැසීම හෝ ණය ලබා ගැනීමෙන් සිදු වන්නේ රුපියලේ අගය පහළ යෑම සහ රටේ මීළඟ පරපුරත් ණය බරට හසු වීම බවයි මාධ්‍යවේදී අසන්ත සිරිමාන්න කියා සිටියේ.

''කෙටිකාලීනව කරන්න පුළුවන් ණය ගන්න එක. එතකොට ඊළඟ පරම්පරාවට ඒක ගෙවන්න ඕනි. ගිය අවුරුද්දේ අපි කරපු කෙටිකාලීන පියවර තමයි සල්ලි අච්චු ගැසීම. එතකොට රුපියල වැටෙනවා. රුපියල වැටුනහම සියයට පහකින් වැට් බදු වදිනවට වඩා විශාල ප්‍රමාණයකින් බදු මිල ඉහළ යනවා. අපේ පඩියේ වටිනාකම නැති වෙනවා.'' යනුවෙන් විස්තර කළ ඉකොනොමි නෙක්ස්ට් මූල්‍ය සඟරාවේ කර්තෘ අසන්ත සිරිමාන්න 'ඇත්තටම කළ යුත්තේ රාජ්‍ය වියදම සීමා කිරීමයි' යනුවෙනුයි වැඩිදුරටත් කියා සිටියේ.