සම්බන්ධන් : රට නොබෙදන ෆෙඩරල් පාලනයක් වෙනුවෙන්

විපක්ෂ නායක
Image caption විපක්ෂ නායකවරයාගේ දින තුනක යාපනය සංචාරය අතරතුර පැවති සාකච්ඡාවට අසනීප තත්වයේ පසු වන ප්‍රධාන අමාත්‍ය විග්නේස්වරන් සහභාගි නොවූ බව වාර්තා විය

උතුරු නැගෙනහිර පළාත් එක් කොට ඒකීය රටක් තුළ බලය බෙදා හැරෙන ෆෙඩරල් පාලනයකට යෝජිත නව ව්‍යවස්ථාවෙන් ඉඩ ලැබෙනු ඇති බවට විපක්ෂ නායක ආර් සම්බන්ධන් බලාපොරොත්තු පළ කරයි.

රට නොබෙදා බලය බෙදා හැරෙන ෆෙඩරල් විසඳුමකට වත්මන් රජයෙන් වැඩි අවස්ථාවක් ඇති බැවින් එම අවස්ථාව කඩාකප්පල් වන ආකාරයට කටයුතු නොකරන මෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් සිය පක්ෂය නියෝජනය කරන උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.

විපක්ෂ නායකවරයාගේ දින තුනක යාපනය සංචාරය අතරතුර පැවති ඉහත කී සාකච්ඡාවට අසනීප තත්වයේ පසු වන ප්‍රධාන අමාත්‍ය විග්නේස්වරන් සහභාගි නොවූ බව වාර්තා විය.

එහිදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් රැසකගේ අවධානය යොමු වී ඇත්තේ ෆෙඩරල් ක්‍රමයකට ආණ්ඩුවෙන් සහාය නොලැබුනොත් ඒ සම්බන්ධයෙන් ගත හැකි අනෙකුත් ක්‍රියාමාර්ග මොනවාද යන්නයි.

ආණ්ඩුවේ ගමන් මඟ කුමක්දැයි යන්න පළමුව විමසා බලා ඊළගට ගත යුතු තීරණය සලකා බැලිය හැකි බව එහිදී විපක්ෂ නායක සම්බන්ධන් පවසා ඇත.

උතුරු පළාත් සභාවේ බොහෝ මන්ත්‍රීවරු පවසා ඇත්තේ ජාතික ගැටලුවට ව්‍යවස්ථා සංශෝධනය හරහා ආණ්ඩුවේ සහාය නොලැබෙන්නේ නම් විදේශ රටවල සහාය ලබාගෙන ඒ සඳහා ආණ්ඩුවට දැඩි විශාල බලපෑමක් එල්ල කළ යුතු බවයි.

විපක්ෂ නායකවරයා හමුවීමට යාපනයේදී හා කිළිනොච්චියේදී රජයේ නිලධාරීන්, ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් ඇතුළු කණ්ඩායම් රැසක් පැමිණි අතර රජයේ පුනරුත්ථාපන වැඩ පිළිවෙල යටතේ පුනරුත්ථාපනය වී නිදහස ලද එල්ටීටීඊ සාමාජිකයින් පිරිසක්ද පැමිණ ඔවුන්ගේ ගැටළු ද විපක්ෂ නායකවරයාට ඉදිරිපත් කොට තිබේ.

ස්ථිර රැකියා නොමැතිකම, ආර්ථික ගැටළු සහ දේශපාලනයේ නියැලීමට දෙමළ ජාතික සන්ධානය හරහා සෘජු අවස්ථාවක් සලසා දෙන ලෙස වූ ඉල්ලීම් කීපයක් ඔවුන් විසින් විපක්ෂ නායකවරයාගේ අවධානයට ලක් කරනු ලැබ තිබේ.