යාල සෆාරි ජීප් රථ වලට තහනමක්, මාර්ගෝපදේශකයෙකු ගේ සේවය අත්හිටුවයි

Image caption අප්‍රේල් 16 වැනි දින යාල ජාතික උද්‍යානයේ කඳවුරු බිමක සිටි කණ්ඩායමක් උද්‍යානයේ නීතිවලට විරුද්ධව ක්‍රියා කිරීම හේතුවෙන් කඳවුරු බිමෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

පසුගිය අවුරුදු කාලය තුල යාල වනෝද්‍යානයේ කොන්දේසි කඩ කළ සෆාරි ජීප් රථ 16 ක් පමණ තහනම් කර තිබෙන බවත් අප්‍රේල් 16 වැනි දින යාල ජාතික උද්‍යානයේ කඳවුරු බිමක සිටි කණ්ඩායමක් උද්‍යානයේ නීතිවලට විරුද්ධව ක්‍රියා කිරීම හේතුවෙන් එම අවස්ථාවේ දීම කඳවුරු බිමෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

එම කණ්ඩායමේ සිටි වනජීවී දෙපාර්තමේන්තුවේ ස්වේච්ඡා මාර්ගෝපදේශකයෙකු ගේ සේවය මාසයක කාලයකට තහනම් කල බව වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය ප්‍රකාශ කළේය.

Image caption සෆාරි ජීප් රථ වල ගැටීමෙන් වන සතුන්ට තුවාල සිදුවන අවස්ථා බහුලය

යාල ජාතික උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක ද නියැළුණු අධ්‍යක්ෂවරයා එම අවස්ථාවේ යාල වනෝද්‍යානයට ඇතුළු වීම සදහා ටිකට්පතක් ද ලබා ගත් බව යාල වනෝද්‍යානයේ පිවිසුම් කාර්යාලයේ සිටින නිලධාරියෙකු මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ට පැවසිය.

අධ්‍යක්ෂවරයා මෙහි දී ප්‍රකාශ කර සිටියේ කිසිදු බලපෑමකට යටත් නොවී නිතිය ක්‍රියාත්මක කරන බවයි. බලපෑමකට යටත් වී මෙය සිදු කරනවා නම් පෙර මෙන් නීති ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත් තමන්ට මේ නීති ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන්නේ නම් තමා මෙම තනතුරින් ඉල්ලා අස්වෙන බවයි අධ්‍යක්ෂකවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

Image caption සෆාරි වනෝද්‍යානය කසළ දමා අපිරිසිදු කිරීමට විරුද්ධව පියවර ගන්නා බවයි අධ්‍යක්ෂකවරයා පවසන්නේ.

මෙහිදී අදහස් දැක්වූ වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය මහතා ''යාල වනෝද්‍යානයට විශාල ප්‍රමාණයක් වාහන එනවා. ඊට අමතරව ඒ වාහන වල හැසිරීම සතුන්ට අනතුරු දායක ලෙසත් සංචාරකයින්ගේ අත්දැකීම ඒ තරම් හොද නැති විදියටත් තමයි මෙච්චර කල් ගොඩනැගී තිබුනේ ඒ නිසා අපි ක්‍රියා මාර්ගයක් ආරම්භ කළා කොන්දේසි මත වාහන වල හැසිරීම හොඳ අතට හරවන්න අපි යාල ජාතික උද්‍යානයේ සෆාරි ජීප් රථ ඔක්කොම අප්‍රේල් 11 වනදා වෙන කොට ලියාපදිංචි කරගත්තා. ඉදිරියේ දී ඇතුළත් කරන්න දෙන්නේ ඒ ලියාපදිංචි සෆාරි ජීප් රථවලට පමණයි. පුද්ගලික වාහන වලින් එන අයට ඒ අයගේ වාහනවලින් ඇතුළුවෙන්න පුළුවන්" යනුවෙන් පැවසීය.

Image caption වාහනයක ගැටීමෙන් මිය ගිය දිවියෙක්

"මේ වන විට සෆාරි ජීප් රථ 700 ක් පමණ ලියාපදිංචි කරලා තියෙනවා. අපි දැන් ආරම්භ කරලා තියෙනවා සෘජු කොන්දේසි මාලාවක්. ජාතික වනෝද්‍යාන තුළ වාහනයක් හැසිරෙන හැටි. ඒ කොන්දේසි මාලාව සෆාරි වාහන වලට පමණක් නොවෙයි පුද්ගලික වාහන වලටත් බලපානවා. සතුන්ට හානිදායක අනතුරු දායක වන ලෙස රිය පදවන්න බැහැ. පාරෙන් පිට ගමන් කල නොහැකියි, වාහන වලින් එලියට බැස යා නොහැකියි, සතුන්ට කෑම දිය නොහැකියි, කැළි කසල විසි කරන්න බෑ, වැනි කොන්දේසි මාලාවක් අපි දාලා තියෙනවා" යනුවෙනුයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ.

යම් හෙයකින් ඉහත කොන්දේසි වලට යටත් ව ක්‍රියා නොකරන්නේ නම් ඔවුන්ට දඩුවම් කරන බව සඳහන් කළ අධ්‍යක්ෂකවරයා එම කොන්දේසි කඩ කරන්නේ සෆාරි ජීප් රථයක් නම් පළමු වැරැද්දට සතියක්ද දෙවැනි වැරැද්දට සති දෙකක්, තුන්වන වැරැද්දට මාසයක් සහ හතර වන වැරැද්දට මාස තුනක කාලයකට තහනමක් පැනවෙන බවයි සඳහන් කළේ. පස්වැනි වරටත් වැරැද්දක් සිදුකරන්නෙ නම් අවුරුද්දක කාලයකට රියදුරු ට හා වාහනයට ඇතුළුවීම තහනම් කරන බව පැවසූ ඔහු මෙයින් උත්සාහ ගන්නේ රියදුරු මහතුන් උද්‍යානය තුල වැරිදි නොකිරීමට පෙළඹවීම බවයි සඳහන් කළේ. පුද්ගලික වාහන නිතර නොඑන නමුත් වැරදි කර අසුවුවහොත් මාස හයක කාලයකට ඇතුළුවීම තහනම් කරන බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.

යාල ජාතික වනෝද්‍යානයේ ගමන් ගන්නා සෆාරි ජීප් රථ ඇතුළු වාහන සදහා පනවා ඇති වේග සිමා නීති රීති පිළිබද මෑතකදී කතාබහට ලක්වුයේ ගියවසරේ දිවියෙකු වාහනයක ගැටී මිය යාමත් සමගයි. ඉන් අනතුරුව ද යාල වනෝද්‍යානය තුළ වාහන වල ගැටී වන සතුන් මිය ගිය අවස්ථා වාර්තා විය.