චීනය සමඟ මුලින්ම ගිවිසුම් ගැහුවේ අපි - අමාත්‍ය කිරිඇල්ල

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල
Image caption 'අපේ පක්ෂයටත් තියනවා චීනය සමග සම්බන්ධකම්'

වර්තමානයේ ඇතැම් දේශපාලන කණ්ඩායම් ''චීනය අයිති කර ගැනීමේ උත්සාහයක යෙදුනත්'' බීජිං පාලනය හා පළමුවරට වෙළඳ ගිවිසුමක් අත්සන් තැබුවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු පිරිසක් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමට ඉරිදා මහනුවරට පැමිණ සිටියහ.

එක්සත් ජාතික පක්ෂයටත් චීනය සමග සම්බන්ධකම් පවතින බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

'සමහර දේශපාලන පක්ෂ චීනය අයිති කර ගන්න හදනවා. නමුත් ඉස්සල්ලාම චීනයත් එක්ක වෙළඳ ගිවිසුමක් අත්සන් කෙරුවේ 1952 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. අහල තියනවද ඒ ගිවිසුම ගැන? රබර් සහල් වෙළඳ ගිවිසුම' ඔහු කියා සිටියේය.

ඉහත කී ගිවිසුම අත්සන් නොකරන ලෙස ඇමරිකාව ඇතුළු බටහිර රටවල් එවකට පවසා සිටි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

'අපිට ඇමරිකාවෙන් දුන්න සහනාධාරත් කපුවා. නමුත් එවකට පැවතුණු එජාප ආණ්ඩුව තමයි ප්‍රථම වතාවට කොමියුනිස්ට් චීනය සමග නිල ගිවිසුමක් අත්සන් කෙරුවේ' අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් කියා සිටියේය.

චීන ප්‍රතිපත්තියේ වෙනසක්

පසුගියදා චීනයේ නිල සංචාරයක යෙදුණු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වරාය නගර ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම ඇතුළු චීන සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණියේය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ චීන සංවර්ධන ව්‍යාපෘති විවේචනයට ලක් කළ වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු එවකට විපක්ෂයේ සාමාජිකයන් ආධාර පතා චීනය වෙත ළඟා වෙමින් සිටින බවයි ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනඥයන් කියා සිටින්නේ.

සිය ආණ්ඩුවේ චීන ප්‍රතිපත්තිය විවේචනය කළ වත්මන් පාලනය චීනය සමග ගිවිසුම්වලට එළඹීම සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව පළ කරන බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මාධ්‍යයට පවසා තිබුණේ.