පුවත් නොමැති නිසා මාධ්‍යවේදීන් පුවත් මවනවා - අමාත්‍ය කිරිඇල්ල

ශ්‍රී ලංකාවේ මාධ්‍ය Image copyright Getty Images
Image caption 'අපිට මාධ්‍යවේදීන් කතා කරලා අහනවා, මොනවා හරි කියන්න කියලා. බොරුද මම කියන්නේ?'

රට තුළ පුවත් නොමැති බැවින් මාධ්‍යවේදීන් පුවත් නිර්මාණය කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

මල්වතු අස්ගිරි අමාත්‍යවරයා මහනාහිමිවරුන් බැහැ දැකීමට මහනුවර බලා පැමිණි අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ ආණ්ඩුවට සහාය ලබා දෙන මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ස්වාධීනව කටයුතු කිරීමට යන බවට පළ වූ මාධ්‍ය වාර්තාවක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් විමසා සිටි අවස්ථාවේදී.

'අද නිවුස් නැහැ. පහර ගැනීම්, අතුරුදහන් කිරීම්, සුදු වෑන්, ගස් බඳින ඒවා නැහැ. අග්‍ර විනිශ්චයකාරතුමිය ඉවත් කළා. රණවිරුවෝ හිරේ දානවා කිව්වා, සරත් ෆොන්සේකා ප්‍රධාන රණවිරුවා ඇදගෙන ගිහින් හිරේ දැම්මේ. දැන් එහෙම දේවල් වෙන්නේ නැති නිසා මාධ්‍යයට නිවුස් නැහැ' අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් එවැනි සිදුවීම් වාර්තා නොවීම යහපත් තත්වයක් බවයි ඔහු පවසන්නේ.

'අපිට මාධ්‍යවේදීන් කතා කරලා අහනවා, මොනවා හරි කියන්න කියලා. බොරුද මම කියන්නේ?' අමාත්‍යවරයා එහි සිටි මාධ්‍යවේදීන්ගෙන් විමසා සිටියේය.

වත්තල ප්‍රදේශයේ පදික මං තීරුවක් කඩා ඉවත් කොට පුවතක් මැවූ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට මේ දක්වා කටයුතු කොට නොමැති බව එහිදී එක් මාධ්‍යවේදියෙක් සිහිපත් කළේය.

'ඔය ඔය ,ආයත් පුවතක් මවන්නනේ හදන්නේ' යනුවෙන් ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.