ජනදුක නොදන්නා උපදේශකයන් ගෙදර යවනවා - ජනපති

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

'ජනතාවගේ දුක නොදන්නා උපදේශකයන් ගෙදර යවනවා'

පොදු ජනතාව මත බර පැටවෙන ආකාරයේ බදු පැනවීමට යෝජනා කරන ආර්ථික විශේෂඥයන්ගේ සේවය රජයට අවශ්‍ය නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

මුදල් අමාත්‍යංශය පසුගියදා නිවේදනය කළේ මැයි මස 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු හෙවත් වැට් බද්ද 15 % දක්වා ඉහළ දමන බවයි.

ජනතාව මත බර පැටවෙන ආකාරයේ බදු පැනවීමක් කිසි විටෙක සිදු නොකරන බව ජනාධිපතිවරයා කියා සිටියේ ඉහත කී වැට් බදු ඉහළ දැමීමේ ක්‍රියාමාර්ගය පිළිබඳ අදහස් පළ කරමිනුයි.

'රටේ දුප්පත් පොදු මහජනතාවට බරක් වෙන ආකාරයේ බදු ඇති කිරීමට රජයේ කිසිදු ආර්ථික විශේෂඥයකුට මම ඉඩ දෙන්නේ නැහැ. මහජනතාවගේ දුක නොතේරෙන රජයේ ආර්ථික විශේෂඥයන් සමහර අංශ වල ඉන්නවා කියල මම දන්නවා. ඒ අයට අවශ්‍ය විදිහට වැඩ කරන්න මම දෙන්නේ නැහැ' ජනපතිවරයා ඒ බව කියා සිටියේ පොලොන්නරුවේ සඳුදා පැවති උත්සවයක් අමතමිනුයි.

නැති බැරි ජනතාවට ආර්ථික වාසි ලබා දීම සහ ඔවුන්ට සහන සැලසීම තම රජයේ ප්‍රතිපත්තිය බවයි ජනපතිවරයා අවධාරණය කළේ.

'ආර්ථික විශේෂඥයන්ගේ දැනුම සෑම විටම පොදු මහජනතාවගේ සුබසාධනය ප්‍රමුඛ කර ගනිමින් ක්‍රියාත්මක විය යුතුයි. මේක පොදු ජනතාවගේ ආණ්ඩුවක්. ඒ නිසා දේශපාලනඥයන් වගේම නිලධාරීන් හා ආර්ථික විශේෂඥයනුත් ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත්' ඔහු පැවසීය.

පැවති ආණ්ඩුවේ ණය?

වීඩියෝ ශීර්ෂ වැකිය,

ජනදුක නොදන්නා උපදේශකයන් ගෙදර යවනවා - ජනපති

විදුලිය, ජලය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වැට් බදු සංශෝධනය බල නොපැවැත්වෙන බවයි අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ මීට ඉහතදී කියා සිටියේ.

වත්මන් ආණ්ඩුව වැට් බද්ද 2% කින් වැඩි කිරීමට තීන්දු කළේ පසුගිය පාලන සමයේ ලබා ගත් අධික ණය හේතුවෙන් යයි ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු භාර නියෝජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා පවසයි.

බීබීසී සංදේශය සමඟ පැවැත්වුන සාකච්ඡාවක දී නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ කුමන රජයක් විසින් ණය ගනු ලැබ ඇතත් බලයේ සිටින රජය විසින් ඒවා ගෙවීමට බැඳී සිටින බවයි.

කෙසේ වෙතත් පසුගිය ආණ්ඩු සමයේ ලබා ගත් අධික ණය හේතුවෙන් වැට් බදු ඉහළ දැමීමට සිදු වූ බවට නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ඉහත කී ප්‍රකාශයේ අර්ධ සත්‍යයක් පවතින බව 'ඉකොනොමි නෙක්ස්ට්' මූල්‍ය සඟරාවේ කර්තෘ අසන්ත සිරිමාන්න සංදේශයට පැවසීය.

වත්මන් ආණ්ඩුව බලයට පත් වීමත් සමග ලබා දුන් පාරිභෝගික සහන සහ රුපියල් දස දහසේ වැටුප් වර්ධකය සඳහා දැරීමට සිදු වූ අධික වැය වැට් බදු ඉහළ නැංවීම කෙරෙහි බලපෑ තවත් එක් ප්‍රධාන සාධකයක් බව ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මුදල් අච්චු ගැසීමෙන් රටේ ආර්ථිකයට සිදු වන අයහපත් බලපෑම හා සැසඳීමේදී සාපේක්ෂ වශයෙන් බදු ඉහළ නැංවීම යහපත් ක්‍රියාමාර්ගයක් බවයි මාධ්‍යවේදී අසන්ත සිරිමාන්න කියා සිටියේ.