ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය මහින්ද රාජපක්ෂගේ ඇසින්

ඡායාරූප මූලාශ්‍රය, Mahinda Rajapaksha/FB
"අපි වෙලාවට හැම ණයක්ම ගෙවුව. මෙයාල ඇවිල්ල අවුරුද්දක් ඇතුලත කෙටි කාලීන ණය විශාල වශයෙන් ගත්ත. දැන් බලන්න ඉන්දියාවෙන් ගත්තේ අවුරුද්දකින් දෙන්න,"
සිය පරිපාලනය සමයේ ආරම්භ කළ චීන ව්‍යාපෘති දිගටම ක්‍රියාත්මක කළේ නම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ අන්දමින් කඩා නොවැටෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටී තිබෙන්නේ සිය පාලනය සමයේ ගත් විදේශ ණය හේතුවෙන් බවට ආණ්ඩුව කරන චෝදනාවද ඔහු තරයේ ප්‍රතික්ෂේප කරයි.
හිටපු ජනාධිපතිවරයා ඒ අදහස් පළ කළේ කියා සිටියේ බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
"අපි වෙලාවට හැම ණයක්ම ගෙවුව. මෙයාල ඇවිල්ල අවුරුද්දක් ඇතුලත කෙටි කාලීන ණය විශාල වශයෙන් ගත්ත. දැන් බලන්න ඉන්දියාවෙන් ගත්තේ අවුරුද්දකින් දෙන්න," ඔහු පැවසීය.
ආණ්ඩුවට තමන් භාරදුන්නේ කේක් ගෙඩියක් බවත්, එය නිසි පරිදි අනුභව කිරීමට ආණ්ඩුව අපොහොසත් වූ බවත් ඔහු කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබුණි.
වැරදි කළමනාකරණය
ඒ පිළිබඳව සංදේශය කළ විමසීමට ප්‍රතිචාර වශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද වන හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එසේ භාරදුන් ආර්ථිකය වර්තමානයේ කඩාවැටීමට හේතුව වත්මන් ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණය බවයි.
"දැන් මේ ණය ගෙවන්න පටන් ගන්න කොට අපි මෙහෙ ආදායම වැඩිකරගෙන තියෙනව. දැන් බලන්න වරායෙන්, අධිවේගී මාර්ගයෙන් ආදායම ලැබෙනවා. අපිට තෙල් මිල වැඩියෙන් තිබුණේ. අද තෙල් මිල අඩුයි. එහෙම වැටිලා තියෙන වෙලාවකවත් මෙයාල ඒ සහනය ජනතාවට දෙන්නේ නැතිව තියාගෙන ඉන්නවා," හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.
"කළමනාකරණයේ වරද නිසයි කියලයි මම කියන්නේ. ආර්ථික කළමනාකරණයත්, පරිපාලන කළමනාකරණයත්. ඒ නායකත්වය එතන ලැබුනේ නෑ."
චීනය සමඟ තමන් ආරම්භ කළ ව්‍යාපෘතීන් ප්‍රමාද වී හෝ යළි ආරම්භ කිරීමට ආණ්ඩුව සැරසීම යහපත් ප්‍රවණතාවයක් බව ඔහුගේ අදහසයි.
'නව පක්ෂයක්?'
"ඇත්ත වශයෙන්ම ඒක ආරම්භ කිරීම ඉක්මන් වුනා නම් රුපියලේ අගය අඩුවෙන්නේ නෑ. මිනිසුන්ගේ අතේ සල්ලි ගැවසෙනවා එතකොට. දැන් අද ලංකාවේ පෝලිම තිබුණේ බැංකුවලයි, උගස් කඩවලයි."
තමන් ඇතුළු සිය පරිපාලනයේ ප්‍රධානීන්ගෙන් 'පළිගැනීම' පිණිස පූර්ණ කාලය යෙදවීම හේතුවෙන් රටේ දැවෙන ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවට 'වෙලාවක් නැති' බවත් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
සිය පරිපාලනය සමයේ ආරම්භ කළ චීන ව්‍යාපෘති දිගටම ක්‍රියාත්මක කළේ නම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ අන්දමින් කඩා නොවැටෙන බව හිටපු ජනපතිවරයා පවසයි.
"මුළු කාලයම යොදවන්නේ කොහොමද ගහන්නේ, කොහොමද පළිගන්නේ, කොහොමද මෙයාල හිරේ දාන්නේ කියල."
මෙසේ ආණ්ඩුවට දැඩි විවේචනයක් එල්ල කරමින් මේ සැරසෙන්නේ නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට දැයි සංදේශය කළ විමසීමට සෘජු පිළිතුරක් නොදුන් ඔහු කියා සිටියේ, සිය උත්සාහය ආණ්ඩුව හරි මඟට ගැනීම පිණිස 'සහාය දීම' බවයි.
"අපේ මේ හුඟක් අයට තියන ගැටලුව විවේචනයක් කළාම තරහ යනව. තරහ ගියහම කරන්නේ මෙයාව FCID එකට හරි වෙන තැනකට ගෙනියන්න කියනවා. ගෙනිහින් කියනවා අල්ලලා නඩුවක් දාපන් කියල."
සිය පරිපාලනය සමයේ සිදු වූ බරපතල දූෂණ, වංචා හේතුවෙන් රට ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින බවට ආණ්ඩුව කරන චෝදනාව පිළිබඳව විමසූ අවස්ථාවේ එය තරයේ ප්‍රතික්ෂේප කළ ඔහු අවධාරණය කළේ වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිවද බරපතල දූෂණ, වංචා චෝදනා තිබෙන බවයි.
"මේ නිකම් විකාරයක්නේ? ඔය ඇමතිවරුන්ගේ අපි දැක්කනේ? මම පෞද්ගලිකව නම් කියන්නෙත් නෑ, අපහාස කරන්නෙත් නෑ. හැබැයි රටේ ජනතාව දන්නවා මොනවාද වෙන්නේ කියල," ඔහු වැඩිදුරටත් පැවසීය.
(සාකච්ඡාවේ දෙවැනි කොටස අඟහරුවාදා)