ශ්‍රී ලංකාවට එරෙහි යුරෝපා සංගමයේ මත්ස්‍ය තහනම 'ඉවත් කර නෑ'

යුරෝපා ධීවර තහනම Image copyright Getty Images
Image caption ශ්‍රී ලංකාවේ ධීවරයන් සිය රැකියාවේ නිරතවීමේදී ජාත්‍යන්තර ධීවර නීති උල්ලංඝනය කරන බවට චෝදනා කරමින් 2014 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන අපනයනයට යුරෝපා සංගමය තහනමක් පැනවීය

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන අපනයනයට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගමය මෙතෙක් තීන්දු කොට නැතැයි ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යංශය පවසයි.

යුරෝපා සංගමය, ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන අපනයනයට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කොට ඇති බවයි, ධීවර අමාත්‍යංශයේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් ඩබ්එම්ඩී වන්නිනායකගේ අත්සනින් යුතුව මීට පැය කීපයකට ඉහතදී නිකුත් කරනු ලැබූ නිවේදනයක සඳහන් වුනේ.

යුරෝපා සංගමය විසින් ඒ බව තමන්ට දැනුම් දී ඇති බවත් එම නිවේදනයේ සඳහන් විය.

කෙසේ නමුත් යුරෝපා සංගමයේ මත්ස්‍ය තහනම ඉවත් කොට ඇති බවට පළ වූ වාර්තා 'පදනම් විරහිත බව' අමාත්‍යංශයේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා ඉන් පය කිහිපයකට පසුව නිකුත් කරන ලද දෙවැනි පුවත් නිවේදනයේ සඳහන් වන්නේ.

'තීරණාත්මක සාකච්ඡාවක්'

අදාළ තහනම ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය හා තීරණාත්මක සාකච්ඡාවක් අප්‍රේල් 21 වනදා පැවැත්වීමට නියමිත බවත් දෙවැනි පුවත් නිවේදනයේ සඳහන් වේ.

Image copyright fisheries.gov.lk
Image caption පළමු පුවත් නිවේදනය: යුරෝපා සංගමයේ මත්ස්‍ය තහනම ඉවතට'
Image copyright fisheries.gov.lk
Image caption දෙවන පුවත් නිවේදනය: 'යුරෝපා සංගමයේ මත්ස්‍ය තහනම ඉවත් කර නෑ'

කෙසේ නමුත් පළමු පුවත් නිවේදනය පිළිබඳව දෙවැනි නිවේදනයේ කිසිවක් සඳහන් නොවේ.

ශ්‍රී ලංකාවේ ධීවරයන් සිය රැකියාවේ නිරතවීමේදී ජාත්‍යන්තර ධීවර නීති උල්ලංඝනය කරන බවට චෝදනා කරමින් 2014 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන අපනයනයට යුරෝපා සංගමය තහනමක් පැනවීය.

ශ්‍රී ලංකාවට එරෙහිව පනවනු ලැබ තිබුණු එම තහනම ඉවත් කිරීම සඳහා යුරෝපා සංගමය මූලික අනුමැතිය ලබා දී තිබෙන බව ධීවර සහ ජලජ සම්පත් මහින්ද අමරවීර මීට දින කිහිපයකට ඉහතදී බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළේය.

පසුගිය මාසයේ ධීවර අමාත්‍යංශයේ ලේකම්වරිය ප්‍රධාන ශ්‍රී ලංකා රජයේ නියෝජිත මණ්ඩලයක් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුවයි ඉහත කී මූලික අනුමැතිය ප්‍රකාශයට පත්කරනු ලැබුණේ.

යුරෝපා සංගමය පැනවූ මත්ස්‍ය අපනයන තහනම හේතුවෙන් විශාල ආර්ථිකමය පාඩුවක් සිදුවූ අතර, නැවතත් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන යුරෝපයට අපනයනය කරන්නට ලැබෙන අවස්ථාව තුළින් රටේ ආර්ථිකයට විශාල වාසියක් සැලසෙනු ඇති බවත් ධීවර අමාත්‍යවරයා සංදේශයට පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර