අවුරුදු නැකත් මතභේදය: 'කිරි කළයට ගොම දැම්ම වගේ'

අවුරුදු නැකත් මතභේදය: 'කිරි කළයට ගොම දැම්ම වගේ'

ආණ්ඩුවට අවශ්‍ය පරිදි අලුත් අවුරුදු නැකත් වේලාවන් සකසා ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඡ්‍යෝතීර්වේදීන් පිරිසක් නගන චෝදනා රජයේ නැකත් කමිටුව ප්‍රතික්ෂේප කරයි.

අවුරුදු නැකත් ආණ්ඩුවේ අවශ්‍යතාවට සරිලන පරිදි වෙනස් කොට ඇති බවට මතයක් පවතින බව පසුගියදා ප්‍රකාශ කළ හිටපු ජනපතිවරයා සිය හිස තෙල් ගෑමේ චාරිත්‍රය සඳහා වෙනස් වෙලාවක්ද යොදා ගෙන තිබිණි.

මෙවර අලුත් අවුරුදු නැකත් වේලාවන්හි වරදක් පවතින්නේ යැයි ඡ්‍යෝතීර්වේදීන් පිරිසක් තමන් සමග කියා සිටි බව හිටපු ජනාධිපතිවරයා පවසා තිබුණේ මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි.

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ විසින් සිදු කරන ලද ඉහත කී ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සංස්කෘතික කටයුතු භාර අමාත්‍ය එස්බි නාවින්න කියා සිටියේ සාවද්‍ය මත පතුරවා හැර සිංහල හින්දු අලුත් අවුරුද්ද පිළිබඳ පවතින ජනතා විශ්වාසය බිඳ දැමීමේ මෙහෙයුමක ඇතැම් පිරිස් යෙදී සිටින බවයි.

'එකම කමිටුව'

ජ්‍යෙෂ්ඨ ඡ්‍යෝතීර්වේදීන් සහ ලිත් කතුවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් අලුත් අවුරුදු නැකත් වේලාවන් සකස් කරන බව පවසන අමාත්‍යවරයා වසර තිස් තුනක් පුරා එම කමිටුව අලුත් අවුරුදු නැකත් වේලාවන් නිර්දේශ කරන බවයි පෙන්වා දෙන්නේ.

'සමහරක් අය හිතනවා ඇති මේ ආණ්ඩුව වෙනස් වුනාම නැකත් කමිටුවත් වෙනස් වෙනවා කියලා, එහෙම එකක් වෙලා නැහැ'

නැකත් කමිටුව විසින් මෙවර අවුරුදු නැකත් සක්ස්කර නිකුත් කරනු ලැබුවේ මිට මාස හයකට පෙර බව ප්‍රකාශ කළ ජ්‍යෙෂ්ඨ ඡ්‍යෝතීර්වේදී ආනන්ද සෙනවිරත්න අවසන් මොහොතේ එය විවේචනය කිරීම පිටුපස සැඟවුණු න්‍යාය පත්‍රයක් ඇති බවයි සඳහන් කළේ.

'වරදක් හෝ දෝෂයක් තිබුනා නම් ඒ අයට අවශ්‍ය තරම් කල් තිබ්බා ඒක පෙන්වලා දෙන්න. කිරි කළයට ගොම දැමීම වගේ වැඩක් ඒ අය කළේ. ජනතාවගේ මනස විස කරන්න කරපු වැඩක්' ඔහු පැවසීය.

මීට පෙර අවස්ථා විසි හතරකදී හිස තෙල් ගෑම සඳහා බටහිර දිශාව යොදා ගෙන ඇති බව පෙන්වා දුන් ඡ්‍යෝතීර්වේදී ආනන්ද සෙනවිරත්න බටහිර දිශාව අසුභ යැයි පළ කර ඇති මතය නිවැරදි නොවන බවයි සඳහන් කළේ.

පස්වරු කාලයේ නැකත් යොදාගැනීමේ හේතුව පිළිබඳ අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ 'හවස් වරුව හොඳ නැහැ කියපු හිටපු ජනාධිපතිතුමාම හවස් වරුවේ හිස තෙල් ගානවා, මොකක්ද ඒ කරපු දේ' යනුවෙනි.