යුරෝපා මත්ස්‍ය තහනම: ධීවර යාත්‍රා සියල්ලටම නිරීක්ෂණ පද්ධති

ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර
යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය තහනම හේතුවෙන් මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන සීයක පමණ මූල්‍ය පාඩුවක් සිදු වී ඇති බව ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
යුරෝපා මත්ස්‍ය තහනම පවතින කාලය පුරා ශ්‍රී ලංකා මත්ස්‍ය නිෂ්පාදනය වෙනත් රටවලට ආනයනය කිරීමට රජය උත්සාහ කළේ දැයි ඊයේ සංදේශය සමග පැවති විශේෂ සාකච්ඡාවේදී විමසූ විට, පසුගිය කාලය තුල චීනය, රුසියාව පමණක් නොව ඇමරිකාවට පවා ශ්‍රී ලංකා මත්ස්‍ය නිෂ්පාදනය ආනයනය කිරීමට උත්සාහ කළත් එම වැඩ පිළිවෙළ එතරම් සාර්ථක නොවූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධානම මත්ස්‍ය ගැනුම්කරුවන් වන්නේ යුරෝපය බව පෙන්වා දුන් අමාත්‍යවරයා පවසන්නේ මත්ස්‍ය තහනම ඉවත් කිරීමට මේ මාසයේ විසි එක වෙනි දින තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන අතර ඉතා ඉක්මනින් නැවතත් යුරෝපයට මත්ස්‍ය නිෂ්පාදන ආනයනය ආරම්භ කිරීමටත් ක්‍රමානුකූලව වෙළඳපොළ නැවත ගොඩ නැගීමටත් බලාපොරොත්තු වන බවයි.
ශ්‍රී ලාංකික ධීවරයන් ජාත්‍යන්තර රෙගුලාසි උල්ලංඝනය කරමින් මසුන් මැරීමේ නිරත වන බවට යුරෝපා සංගම් රටවලින් එල්ල වූ චෝදනා යුරෝපා මත්ස්‍ය තහනම පැනවීමට බලපෑ මූලික හේතුවකි.
ඒ සම්බන්ධයෙන් ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර වෙත ප්‍රශ්නයක් යොමු කළ සංදේශය විමසා සිටියේ මෙම ජාත්‍යන්තර රෙගුලාසි කඩ කරන ධීවරයන්ට එරෙහිව රජය විසින් ගෙන ඇති නීතිමය පියවර කවරේද යන්නයි.
ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට සියලු ම ධීවර යාත්‍රා වලට නිරීක්ෂණ පද්ධති සවි කිරීමට කටයුතු කර ඇති අතර නීති විරෝධී ලෙස සිදු කරන මසුන් මැරීම වැලක් වීමට ගත යුතු පියවර ගෙන තිබෙන බවයි.
ඒ යටතේ පනවා ඇති නීති කඩ කරමින් මසුන් මැරීමේ යෙදෙන ධීවරයින්ට විශාල ප්‍රමාණයේ දඩ මුදල් නියම කිරීමටත්, දිගින් දිගටම නීති කඩ කරමින් ධීවර කර්මාන්තයේ යෙදෙන පුද්ගලයින්ගේ යාත්‍රා රාජසන්තක කිරීමට පවා රජය ඉදිරියේ දී පියවර ගනු ඇති බවයි අමාත්‍ය අමරවීර කියා සිටියේ.

ශ්‍රී ලංකාවට එරෙහි යුරෝපා සංගමයේ මත්ස්‍ය තහනම 'ඉවත් කර නෑ'
ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන අපනයනයට එරෙහිව යුරෝපා සංගමය විසින් පනවා තිබූ තහනම තවමත් ඉවත් කර නැති බව ධීවර අමාත්‍යාංශය පවසයි.