පාකිස්තානයේ ගාන්ධාර බෞද්ධ උරුමය සොයා රාජ්‍ය දූත ගමනක්

deligations to Gandhara
ඡායාරූප ශීර්ෂ වැකිය,

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ 20 වැනිදා ඉස්ලාමාබාද් හි දී මෙම දූත පිරිසේ නියෝජ්‍ය නායකයා ලෙස මෙම පිරිසට එක්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ

පාකිස්තානයේ ගාන්ධාර බෞද්ධ උරුමය සොයා ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් ප්‍රමුඛ කතානායක කරු ජයසූරිය, සුප්‍රසිද්ධ බෞද්ධ උගතුන් ඇතුළු දූත පිරිසක් සතියක සංචාරයක නිරතව සිටිති.

ඉතා විශිෂ්ඨ තත්වයක පැවති පාකිස්තානයේ ගාන්ධාර බෞද්ධ උරුමය ශ්‍රී ලංකාවාසී ජනතාවට හඳුන්වා දීම මූලික කොට ගෙන සංවිධානය කෙරෙන මෙම සංචාරයේ අරමුණක් වී ඇත්තේ ගාන්ධාර සංස්කෘතික ඉතිහාසයේ මධ්‍යස්ථානය ලෙස සැලකෙන වර්තමාන තක්ෂිලා නගරය යළි හඳුනාගැනීමයි.

පාකිස්තානයේ සිට බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින් දූත පිරිසේ නායකයා වන කතානායක කරු ජයසූරිය එම සංචාරය හඳුන්වා දුන්නේ 'සංස්කෘතික සහ අධ්‍යාපනික ගමනක්' ලෙසිනුයි.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමි, ත්‍රිකුණාමලයේ ආනන්ද මහනාහිමි, මල්වතු පාර්ශවයේ අනු නායක ආචාර්ය නියංගොඩ විජිතසිරි නාහිමි, බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ ජාතික ඒකාග්‍රතාව සහ සංහිඳියා අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය එම් ගනේෂමුර්ති ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් මෙම දූත පිරිසට එක් වී සිටිති.

ඡායාරූප ශීර්ෂ වැකිය,

මෙම සංචාරයේ අරමුණක් වී ඇත්තේ ගාන්ධාර සංස්කෘතික ඉතිහාසයේ මධ්‍යස්ථානය ලෙස සැලකෙන වර්තමාන තක්ෂිලා නගරය යළි හඳුනාගැනීමයි

මාර්දාන්, තක්ති බාහි සහ ස්වාත් වැනි ආගමික සහ අධ්‍යාත්මික වටිනාකමකින් යුතු ප්‍රදේශ වෙත යන ඔවුහු ඉන් පසු ඓතිහාසික බෞද්ධ නටබුන් ප්‍රදර්ශනය ට තබා ඇති ලාහෝරය, තක්ෂිලා සහ පේෂාවර් කෞතුකාගාර නැරඹීම සඳහා යාමට නියමිතය.

පාකිස්ථානයේ ජනාධිපතිවරයා, පකිස්තාන පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ ලේකම්වරයා, පාර්ලිමේන්තුවේ කතානායකවරයා, ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා, පන්ජාබ්, KPK සහ සින්ද් පළාත් ආණ්ඩුකාරවරු ඇතුළු ඉහළ මට්ටමේ බලධාරීන් හමුවීමත් ශ්‍රී ලංකා දූත පිරිසේ බලාපොරොත්තුවයි.

"ලාහෝර් කෞතුකාගාරය නරඹන්න ගිය අවස්ථාවේ අපි දුටුවා බුදු හාමුදුරුවන්ගේ දුෂ්කර ක්‍රියා කරන පිළමය වගේ ඉතාමත්ම වටිනා කෞතුක වස්තු බොහෝ ගණනක්," කතානායක කරු ජයසූරිය සංදේශයට පැවසීය.

සර්වඥ ධාතු

බුදු හිමියන්ගේ ධාතූන් පාකිස්තානයේ වැඩ සිටින බව සිය සංචාරයේදී දැනගන්නට ලැබුණු බවත් සඳහන් කළ කතානායකවරයා, මේ වසරේ වෙසක් උත්සවය සඳහා එම ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවා ගැනීම සිය උත්සාහය බවත් පැවසීය.

"ඉතින් මම දැන් රාජ්‍ය නායකයෝ හමුවුනහම ඒ අවසරය ගන්න බලාපොරොත්තු වෙනවා."

දූත පිරිස පාකිස්තානයේ රැඳී සිටින කාලය තුළ ඔවුන් එරට සුප්‍රසිද්ධ ජාතික ස්මාරක වන, ලොක් විර්සා කෞතුකාගාරය, ඛේවාරා පතල්, කවයිඩ් ඊ අසාම් කෞතුකාගාරය, පන්ජාබ් තොරතුරු මණ්ඩලයේ අර්ෆා කාරීම් මධ්‍යස්ථානය සහ පන්ජාබ් විශ්වවිද්‍යාලයට නැරඹීමටද නියමිතව තිබේ.

ක්‍රිස්තු පුර්ව හයවන සියවසේ සිට ක්‍රි.ව. 5 වන සියවස දක්වා වූ කාලයක් පුරා දිවෙන ගාන්ධාර ශිෂ්ඨාචාරය ඉන්දුස් නදිය අසල වර්තමාන පාකිස්තානයට අයත් ත්‍රිකෝණාකාර බිම්කඩක් මූලික කොට ඇතිවූවකි.

වර්තමානයේ මුස්ලිම් රටක් වුවද ලෝකයේ වඩාත්ම උසස් බෞද්ධ උරුමයක් ගන්ධාරය අවශේෂයන් තුළින් හමුවේ.

සංචාරයෙන් අනතුරුව විශේෂ වැඩසටහනක් පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නැතත්, පාකිස්තානයේ බෞද්ධ උරුමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කිසියම් මෙහෙයක් කළ හැකිදැයි බෞද්ධ මහනාහිමිවරුන් සලකා බලනු ඇති බවත් කතානායක කරු ජයසූරිය වැඩිදුරටත් සඳහන් කළේය.