ශ්‍රී ලංකා මත්ස්‍ය අපනයනයට යුරෝපා වෙළෙඳපොළ විවෘත වෙයි

Image copyright Getty Images

මත්ස්‍ය අපනයනය සම්බන්ධයෙන් යුරෝපා හවුල ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබුණ තහංචිය ඉවත් කරනු ලැබ ඇත.

2015 වසරේ පනවන ලද එම තහංචිය දීර්ඝ සාකච්ඡාමය ක්‍රියාදාමයකින් අනතුරුවයි ඉවත් කරනු ලැබුණේ.

ශ්‍රී ලංකාව එරට ධීවර පාලන විධික්‍රමය සාර්ථක ලෙස ප්‍රතිසංවිධානය කර ඇති බව යුරෝපා කොමිසමේ වෙබ් අඩවියේ පළ කරනු ලැබ ඇති මාධ්‍ය වාර්තාවක දැක්වෙයි.

Image copyright AFP
Image caption ශ්‍රී ලංකාවට යුරෝපා වෙළෙඳපොළට සිය ධීවර නිෂ්පාදන අපනයනය කිරීමට අවස්ථාව

යුරෝපා හවුල 2012 වසරේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පෙර අනතුරු ඇඟවීමක් (a yellow card) සිදු කළ අතර 2015 දීයි තහංචිය ප්‍රකාශයට පත් කරන ලද්දේ.

නීතියට පටහැණි මත්ස්‍ය දඩයම නිසා තහංචි වලට යටත් කෙරුණ ශ්‍රී ලංකාව,ඝානාව ,පැපුවා නිව්ගිනියාව ,කොරියාව,පිලිපීනය,බ්‍රසීලය,ෆිජි,පැනමා සහ ටෝගෝ යන රටවල් වලට එරෙහිව සිදු කරන ලද අනතුරු ඇඟවීම් වලින් අනතුරුව එම රටවල් ඔවුන්ගේ ධීවර යාත්‍රා හැසිරවීම මනාව සිදු කරනු ලැබ ඇති බව යුරෝපා හවුල පවසයි.

මත්ස්‍ය අපනයන තහංචි ඉවත් කරනු ලැබීමත් සමඟ ශ්‍රී ලංකාවට යුරෝපා වෙළෙඳපොළට සිය ධීවර නිෂ්පාදන අපනයනය කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.