ඥානසාර හිමියන්ට එරෙහිව අභියාචනාධිකරණයට පැමිණිල්ලක්

rev galagoda aththe gnanasara

ඡායාරූප මූලාශ්‍රය, BBS

ඡායාරූප ශීර්ෂ වැකිය,

ගලගොඩ අත්තේ ඥානසාර හිමි

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කර ඇතැයි පවසමින් හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පැමිණිලිකාර මහේස්ත්‍රාත්වරයා පවසන්නේ පසුගිය ජනවාරි මස 25 වන දා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම පිළිබඳ නඩුව විභාගයට ගත් අවස්ථාවේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් අධිකරණ භූමිය තුළ කලහකාරී අයුරින් හැසිරුණ බවයි.

එම ක්‍රියාව නිසා අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවයි මහේස්ත්‍රාත්වරයා පවසන්නේ.

අදාළ සිද්ධිය පිළිබඳව විභාගයක් පවත්වා උන්වහන්සේ ගේ හැසිරීම මගින් අධිකරණයට අපහාසයක් වී තිබේ දැයි නිගමනය කරන ලෙසත් එසේ වී ඇත්නම් වගඋත්තරකරුවනට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් හෝමාගම මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

බීබීසී සංදේශය කළ විමසීමක දී අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරීවරයා සඳහන් කළේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර කටයුතු කිරීම සඳහා එය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි.

සභාපති විනිසුරුවරයාගේ උපදෙස් මත ඉදිරි නීතිමය පියවර ගන්නා බවයි අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.