'FCIDය තවත් ශක්තිමත් කරනවා' නව පොලිස්පති

වීඩියෝ ශීර්ෂ වැකිය,

පොලිස්පති පූජිත් ජයසුන්දර පළමු මාධ්‍ය සාකච්ඡාව

පොලිස් මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාශය(FCID) අහෝසි කිරීම නොව එය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව නව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසයි.

පොලිස්පති තනතුරේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව අද(22) සිය පළමු මාධ්‍ය හමුවට එක් වෙමිනුයි ඔහු එම ප්‍රකාශය කළේ.

' FCIDය දිගටම පවත්වා ගෙන යනවා. තව දුරටත් ඊට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. එය මහජන අවශ්‍යතාවයක්. කෑ ගහන අයගේ පෞද්ගලික කොන්ත්‍රාත් කරන්න FCID එක බැඳිලා නැහැ. රජයේ මුදල් හා දේපළ අවභාවිතා කරන්නන්ට එරෙහිව අපි ක්‍රියාත්මක වෙනවා' නව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසයි.

විමර්ශන ඉක්මනින් සිදුවීම සියලුදෙනාගේ උවමනාව බව පෙන්වා දෙන නව පොලිස්පතිවරයා කෙසේ වෙතත්, ඒවා පියවරෙන් පියවර සිදු වන බවයි සඳහන් කළේ.

පියවරෙන් පියවර

.'ඉක්මනින් හැම දෙයක්ම කරන්න බැහැ. පියවරෙන් පියවර ඒවා සිදු වෙනවා. සාක්ෂි රැස් කර ගන්න අවශ්‍යයි. නීතිපති උපදෙස් ගන්න ඕන. නමුත් මේ හැම පරික්ෂණයක්ම සිදු කරලා ඉවර කරනවා' ඔහු වැඩිදුරටත් පවසයි.

මේ වනවිට ආන්දෝලනාත්මක සිදු වීමක් වී තිබෙන රගර් ක්‍රීඩක වසීම් තාජුදින් ඝාතනයේ තවත් අත්අඩංගුවට ගැනීම් ඉදිරියට සිදුවීමට නියමිත බවයි නව පොලිස්පතිවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළේ.

'පෞද්ගලික පහර දීම් නොකරන අතර පුද්ගලයන් කවුරුන් වුවත් අදාළ පුද්ගලයන් ඉදිරි කාලයෙහි අත්අඩංගුවට ගන්නා' බවත් නව පොලිස්පතිවරයා කියා සිටියි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

පොලිපති පදවිය භාර ගනිමින්

පොලිසියේ හා පොලිස් නිලධාරීන්ගේ වැරදි ඇත්නම් තමන් ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගන්නා බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර අවධාරනය කරයි.

'වැටත් නියරත් ගොයම් කා නම් එම අමාරුව කාට කියන්නදැයි' ප්‍රශ්න කළ පොලිස්පතිවරයා නීතිය ක්‍රියාත්මක කළ යුතු පුද්ගලයා නීතිය කඩන්නේ නම් එවිට මහජනයා තුළ ඇති වන කෝපය සාධාරණ එකක් වන බවයි සඳහන් කළේ.

එම මාධ්‍ය හමුවේදී තව දුරටත් අදහස් දැක්වූ පොලිස්පති පූජිත් ජයසුන්දර 'පසුගිය කාලයේ පොලිසියෙන් තමාට අසාධාරණ සිදු වූ' බවත් කියා සිටියේය.

පසුගිය ආණ්ඩුවෙන් 'කැපිල්ලක් තිබුණා' දැයි මාධ්‍යවේදියෙකු විමසූ විට ඔහු ප්‍රකාශ කළේ 'තමාටද එසේ සිතුන' බවයි.

සාධාරණ විවේචන

සාධාරණ විවේචන ඇත්නම් ඕනෑම වෙලාවක ඒවා බාර ගැනීමට තමා සූදානම් බව පැවසූ නව පොලිස්පතිවරයා 'ප්‍රවෘත්ති විකුණා ගැනීම සඳහා' අසාධාරණ ලෙස විවේචන සිදු නොකරන ලෙස ජන මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

අද (22) උදෑසන තමා පිළිගැනීම සඳහා පැවැත්වුන උත්සවයේ දී පොලිස් නිලධාරීන් අමතා කතා කළ නව පොලිස්පතිවරයා ජනතාවගෙන් දුරස් වීම හේතුවෙන් පොලිසිය කෙරෙහි ජනතා විශ්වාසය පළුදු වී ඇති අතර ජනතාවට මිත්‍රශීලී සේවාවක් ලෙස පවත්වා ගෙන යාම සිය අරමුණ වන බව කියා සිටියේය.

දිවා රෑ නොබලා සේවය කරන පොලිස් නිලධාරීන්ගේ අභිමානය හා සුබසාධනය ඉහළ නැංවීම සඳහා තමා ක්‍රියා කරන බවත් ඔහු සඳහන් කළේය.