‘ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදී වෘත්තීයභාවයේ ප්‍රගතියක් නැහැ’

Image caption ආචාර්ය රංග කලංසූරිය

දේශ සීමා නොමැති මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ ශ්‍රේණිගත කිරීම් අනුව මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ශ්‍රී ලංකාව මෙතෙක් ලැබ සිටි ස්ථානයේ මඳ ප්‍රගතියක් දක්නට ලැබුනත් තවත් සම්පූර්ණ විය යුතු බොහෝ අංග පවතින බව ආචාර්ය රංග කලන්සූරිය පවසයි.

ලෝක මාධ්‍ය නිදහස පිළිබඳව එම ජාත්‍යන්තර සංවිධානය විසින් 2016 වසර අළලා පසුගිය බදාදා (20) නිකුත් කරන ලද වාර්තාව අනුව මාධ්‍ය නිදහස අතින් ශ්‍රී ලංකාව ඉදිරි වර්ධනයක් පෙන්නුම් කර ඇතත් සහමුලින්ම සතුටු විය හැකි තත්වයක් තවමත් ඇති වී තිබේද යන්න සැක සහිත බවයි ආචාර්ය රංග කලංසූරිය පවසන්නේ.

ඔහු එම අදහස් පළ කළේ, දේශ සීමා නොමැති මාධ්‍යවේදීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශ කරනු ලැබ ඇති නව වාර්තාවේ ශ්‍රී ලංකාව කලින් සිටි ස්ථානයට වඩා ඉහළ ස්ථානයක් ලැබ සිටීම සම්බන්ධයෙන් බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී.

දේශ සීමා නොමැති මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ ශ්‍රේණිගත කිරීම් අනුව මාධ්‍ය නිදහස අතින් 2015 වසරේ 165 වෙනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව දැන් 141 වෙනි ස්ථානය ලබා ඇත.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස අතින් තව දුරටත් ගැටළු පැවැත්ම සම්බන්ධයෙන් කරුණු දක්වන ආචාර්ය රංග කලංසූරිය ඒ සඳහා නිදසුනක් වශයෙන් ශ්‍රී ලංකා පුවත් මණ්ඩලය දිගටම ක්‍රියාත්මක වීම පෙන්වා දුන්නේය.

පුවත්පත් මණ්ඩලය

'මාධ්‍ය නියාමනය පිළිබඳව අවබෝධයක් හෝ සුදුසුකම් නොමැති පුද්ගලයන් පුවත්පත් මණ්ඩලයට ලැබෙන පැමිණිලි විභාග කරනවා. ඒ වගේම පුවත්පත් මණ්ඩලයේ සංයුතිය 100% ක් සම්පූර්ණ නැහැ. එබැවින් ඇතැම් මාධ්‍යවේදීන් පුවත්පත් මණ්ඩලයේ නෛතිකභාවය පිළිබඳව ප්‍රශ්න කරනවා' ආචාර්ය රංග කලංසූරිය පවසයි.

වත්මන් ආණ්ඩුව බලයට පත් වුනේ පුවත්පත් මණ්ඩලය අහෝසි කරන බවට ප්‍රතිඥාවක් දෙමින් නමුත් මාස හයක් ඇතුළත එය යළිත් ස්ථාපනය කෙරුණ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර ආණ්ඩුව ස්වාධීන විකාශන අධිකාරියක් පිහිටුවීමට ගනු ලබන පියවර 'හොඳ ක්‍රියාමාර්ගයක්' හැටියට ආචාර්ය රංග කලංසූරියගේ අගය කිරීමට ලක් වෙයි.

පෞද්ගලික මාධ්‍ය ආයතන ගත් විට ඔවුන් සිය පෞද්ගලික දේශපාලන සහ වාණිජමය උවමනා අනුව කටයුතු කරන ආකාරයේ වෙනසක් තවමත් සිදු වී නොමැති බවයි ආචාර්ය රංග කලංසූරිය කියා සිටින්නේ.

අනිත් අතින් මාධ්‍ය නිදහස් ගැන කතා කළත් මාධ්‍යවේදීන්ගේ ගුණාත්මක වෘත්තීය භාවය අතින් කිසිදු ප්‍රගතියක් ලබා නැති බවත් ඔහු පෙන්වා දෙයි.

මහජන සේවා මාධ්‍ය ආයතන

වත්මන් ආණ්ඩුව ,මහජන මාධ්‍ය සේවා ආයතන පිහිටුවන බවට ප්‍රතිඥාවක් දී ඇතත් බලයේ සිටි කලින් ආණ්ඩු මෙන්ම මෙම ආණ්ඩුවත් එය අමතක කර ඇති බවත් ඔහු සිහිපත් කරයි.

අනිත් අතින් දකුණේ මාධ්‍යවේදීන් භුක්ති විඳින නිදහස උතුරු සහ නැගෙනහිර මාධ්‍යවේදීන් භුක්ති නොවිඳින බවයි ආචාර්ය රංග කලංසූරිය පවසන්නේ.

එම පලාත්වල මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් රජයේ ඉහළ මට්ටමේ බලධාරීන් දක්වන ආකල්පය බිම් මට්ටමේ දී දක්නට නොලැබෙන බවයි ඔහු කියා සිටියේ.

දේශ සීමා නොමැති මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ ශ්‍රේණිගත කිරීම් අනුව මාධ්‍ය නිදහස අතින් ලෝකයේ පළමු ස්ථානය හිමි වන්නේ පින්ලන්තයටයි.

බීබීසී යෙන්