ශාලිකා තහනම: ගමනාගමන මණ්ඩලයට කෝටි දෙකක එන්තරවාසියක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය

ඡායාරූප මූලාශ්‍රය, SLTB/FB

ඡායාරූප ශීර්ෂ වැකිය,

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය

තම මැයි දිනය සඳහා වෙන් කොට තිබූ ශාලිකා ක්‍රීඩාංගණය යළි අවලංගු කිරීම නිසා සිදු වූ අපහසුතාව සහ අලාභය හේතුවෙන් ලක්ෂ දෙසීයක වන්දියක් ඉල්ලා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට එන්තරවාසියක් යවා ඇති බව ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩලය පවසයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා විසින් දින දාහතරක් ඇතුළත එකී වන්දි මුදල ගෙවීමට කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව අධිකරණයට යන බවයි ඒකාබද්ධ විපක්ෂයේ ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්ඩලයේ සම ලේකම් සෝමවීර චන්ද්‍රසිරි බීබීසී සංදේශයට කියා සිටියේය.

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය ශාලිකා ක්‍රීඩාංගණයෙන් ආරම්භ වී කිරුලපන බලා යන බවට ඊට සම්බන්ධ පක්ෂ සහ වෘත්තීය සමිති විසින් පූර්ව ප්‍රචාරයක් ලබා දී තිබුණි.

ක්‍රීඩාංගණය වෙත දහසකට වැඩි පිරිසක් පැමිණීමට නියමිත බැවින් ඊට හානි සිදු වීමට ඉඩ ඇති බව පවසමින් ක්‍රීඩාංගණය ලබා දීමට නොහැකි බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තමා වෙත දන්වා ඇති බවයි සෝමවීර චන්ද්‍රසිරි කියා සිටියේ.

එසේ නම් ඉහත කී ක්‍රීඩාංගණය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මැයි රැළිය සඳහා පසුගිය වසරේදී ලබා දුන්නේ කුමන පදනමක් යටතේ දැයි ඔහු ප්‍රශ්න කරයි.

'විශාල මුදලක් වියදම් කරලා, ශාලිකා ක්‍රීඩාංගනයට එන්න කියලා දැන්වීම් ගහලා, විශාල වියදමක් අපි කරලා තිබෙනවා. අපට කරපු අපහසුව සහ අපහාසය නිසා සිදු වූ අලාභය ඉල්ලා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා වෙත එන්තරවාසියක් යවලා තිබෙනවා' ඔහු වැඩිදුරටත් කියා සිටියේය.