ෆෙඩරල් විසඳුම කොටි සංවිධානයේ ගමන් මගට වෙනස් එකක්- දෙමළ මහජන සභාව

Image caption දෙමළ ජාතික සභාව

උතුරු නැගෙනහිර සඳහා තමන් ඉල්ලා සිටින ෆෙඩරල් පාලන ව්‍යුහය කොටි සංවිධානය අනුගමනය කළ වෙනම රාජ්‍යයක් සඳහා වූ ක්‍රියාමාර්ගයෙන් සහමුලින්ම වෙනස් වූවක් බව දෙමළ මහජන සභාව (TPC) පවසයි.

දෙමළ මහජන සභාව එම ප්‍රකාශය කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරනු ලැබීමේ දී ආණ්ඩුව විසින් සැලකිල්ලට ලක් කරනු ලැබීම සඳහා ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරමිනි.

බීබීසී සංදේශය සමඟ පැවැත්වුන සාකච්ඡාවක දී අදහස් දැක්වූ දෙමළ මහජන සභාවේ ප්‍රකාශක නීතිඥ ජී.පුවිතරන් කියා සිටියේ,තමන් දෙමළ ජනයා වෙනුවෙන් ඉල්ලා සිටින්නේ ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරෙන ෆෙඩරල් පාලනයක් පමණක් බවයි.

'එවැනි පාලන ව්‍යුහයකින් දෙමළ ජනයාගේ ස්වයංනිර්ණ අයිතිය මෙන්ම රට තුළ ස්ථිර සාමයක්ද ගොඩ නැගෙනවා' දෙමළමහජන සභාවේ ප්‍රකාශක නීතිඥ ජී.පුවිතරන් පවසයි.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ දී සැලකිල්ලට ගත යුතුකරුණු ඉදිරිපත් කරමින් උතුරු පළාත් සභාවත් පසුගියදා යෝජනාවක් සම්මත කර තිබුණි.

එම යෝජනාව සහ සිය සංවිධානයේ යෝජනා අතර වෙනස් කම් ඇතත් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරමින් ෆෙඩරල් ආකෘතියේ පාලනයක් ඇති කිරීම අතින් එම සංවිධාන දෙක අතර සමාන අදහසක් පවතින බවත් දෙමළ මහජන සභාවේ ප්‍රකාශක නීතිඥ ජී.පුවිතරන් පෙන්වා දෙයි.

දකුණේ ජනතාව මේ සම්බන්ධයෙන් වෙනත් මතයක් දරනවා නොවේදැයි බීබීසිය ප්‍රශ්න කළ විට ඔහු සඳහන් කළේ ලෝකයේ ෆෙඩරල් ආණ්ඩුක්‍රම ක්‍රියාත්මක වෙන වෙනත් රටවල මහජනයා සංහිඳියාවෙන් ජීවත් වෙන බවයි.

ශ්‍රී ලංකාවේ සිංහල දෙමළ සියලු ජන කොටස්වල අයිතිවාසිකම් සුරැකීමට ෆෙඩරල් ආකෘතිය ඉවහල් වේය යන්න දෙමළ මහජන සභාවේ අදහසයි.

මේ සඳහා ආණ්ඩුව සහ දමිළ නායකයන් අතර සාකච්ඡා පැවැත්විය යුතු බවත් ඔවුහු කියා සිටිති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර